Thursday, November 20, 2014

පූර්ව මධ්‍යතන යුගය අදුරු යුගයක් ලෙස සැලකෙන්නේ ඇයි


 යුරෝපා මහද්වීපයේ මිනිස් වාසය ඇරඹීමේ සිට අද දක්වා කාලය යුරෝපා ඉතිහාසයට අයිති කාලවකවානුවයි. හොමෝසේපියන්වරු පිළිබද තොරතුරු හමුවන්නේ ක්‍රි.පූ. 35,000 දීය. මේ පිළිබදව හෝමරගේ ඉලියඩ්” හි සදහන් වේ. රෝමානු ජනරජ රාජ්‍ය බිහිවනුයේ ක්‍රි.පූ. 509 දීය. ක්‍රිස්තියානි ආගම එහි ආගමනය වුයේ ක්‍රි.පු. 4 වැනි ශතවර්ෂයේ දීය. 1 වන ජස්ටීයන් (527 – 565) නම් අධිරාජ්යයා විසින් ක්‍රිස්තියානි ආගම ඉතා ක්‍රමානුකූලව අධිරාජ්‍යය පුරා ප්‍රචලිත කරන ලදි. මෙකල යුරෝපයේ ප්‍රධාන පංචවිධ නගර වුයේ රෝමය, කොන්ස්තන්තිනෝපලය ඇන්ටියෝක්, ජෙරුසෙලම හා ඇලෙක්සැන්ඩ්රියාවයි. වසංගත හමුවේ අධිරාජ් නැගෙනහිරට හා බටහිරට ගෙන යන ලදි. අදුරු යුගය තුළ බටහිර යුරෝපය හිස්විය. නැගෙනහිර යුරෝපයේ ප්‍රධානතම අධිරාජ්‍ය වුයේ බයිසැන්තීනයයි.
රදල සමාජ ක්‍රමය බිදවැටුණි. කොස්තන්තිනෝපලය ක්‍රි.. 1453 දි බිද වැටුණු අතර නව ලෝකය 1492 දී සොයා ගන්නා ලදි. පුනරුදයත් සමග ප්‍රොතෙස්තන්ත්‍ර ක්‍රමය ඇතිවුයේ ජර්මන් ජාතික මාටින් ලුතර්ගේ ආගමනයත් සමගයි. වසර 30 යුද්ධය, වෙස්ට්ෆැලියාවේ ගිවිසුම හා ග්ලෝරියස් විප්ලවය තුළින් නව යුගයක එළිදැල්විණ.
ඇත්තෙන්ම සමෘධිමත් රෝම යුගයෙන් පසු එහෙමත් නැත්නම් දීර්ඝ කාලයක් විවිධ ක්‍ෂෙත්‍රයන් ඔස්සේ දියුණුවෙන් දියුණුවට පත්වූ  රෝම අධිරාජ්‍ය හෝ රෝම සමූහාණ්ඩුවලට පසුව එළඹුන මධ්‍යතන යුගය ඉතාමත් පසුගාමී හා පුනරුද යුගය පැමිණෙන තෙක්ම දේශපාලනික, ආර්ථික, සංස්කෘතික මෙන්ම හරපද්දතීන්ගේ දැවැන්ත බිදවැටීමක් තිබුන යුගයක් ලෙස අවිවාදයෙන්ම පිළිගැනීමට අපට හැකියාව ඇත. එහෙත් සත්‍ය වශයෙන්ම මෙතරම් පසුගාමී අදුරු තත්ත්වයකට එම යුගය පත්වුනේ ඇයිද කියන මතය විවිධ ඉතිහාසඥයන්ගේ අදහස් මෙන්ම තර්කානුකූල මතයන් ඔස්සේද විමසූ විට පිළිතුරු රැසක් ලබාගත හැකියි.
දහ අටවන ශතවර්ශයේ විසූ ඉතිහාසඥයෙකු හා දේශපාලනඥයෙකුවන එඩ්වර්ඩ් ගිබ්බෝන් විසින් 1776 දී පමණ ලියන ලද The History of the Decline and Fall of the Roman Empire නම් කෘතියට අනුව ඔහු සදහන් කරන්නේ රෝම යුගයේ බිද වැටීමට මිනිසුන්ගේ ගුණදම් මෙන්ම සභ්‍යත්වය, ශීලාචාරකම බිදවැටීමත් හේතුවූ වන්නට ඇති බවය. මෙය බොහෝවිට රෝම අධිරාජ්‍යයට දැවැන්ත තර්ජනයක්වුන ම්ලේච්ඡ ආක්‍රමණ එහෙමත් නැත්නම් බාබේරියන්ස් වරුන් අතින් සිදුවූ ආක්‍රමණ හේතුවන්නට ඇතැයිද සිතිය හැකිය.  බාබේරියන්ස් වරුන් විවිද ප්‍රදේශවලින් පැමිණි විවිදාකාරයේ මිනිසුන් පිරිසක් ලෙස ඉතිහාසයේ හදුන්වා ඇත. ඒ අනුව ඔවුන් අතර සංස්කෘතිකමය හෝ හරපද්දතින් වලින් බැදීමක් නොතිබුනා වගේම ආක්‍රමණිකයාට හැකි උපරිම හානියත්, ඒවායේ ස්ථාපිතව තිබූ සංස්කෘතිකමය ලක්‍ෂන විනාශකිරීමත් ඔවුන් සිතාමතාම හෝ කිසිදු අදහසකින් තොරව නිකරුනේ වුවත් සිදුකරන්නට ඇතැයි ඉතිහාස{යන් අතර මතයක් පවතී. සතුරා කෙරේ කිසිදු අනුකම්පාවක් නොදැක්වූ බව කියන මේ ආක්‍රමණිකයන්, නීතිමය බැදීමකින්ද තොරවූ නිසා විවිධ අශිලාචාරකම්වලින් සතෘප්තවූ මොවුන් ඒ ප්‍රදේශවල ස්ථානගතවීමත් සමග  ටික කලෙකට පසුව මොවුන් සංග්‍රාමිකව දක්‍ෂයන් වූවත් සිවිල් පරිපාලන ව්‍යුවහයන් නිසිපරිදි පවත්වාගෙන යානොහැකිවීමත් අනිවාර්යයෙන්ම සිදු වූ නිසා මෙම යුගය අදුරු යුගයක් බවට පත්වන්නට ඇත.
එහිදී සතුරන්ට එරෙහිව සටනට ගිය පිරිමින් යුද්දයේදී බාබේරියන්වරුන්ට ගොදුරු වූ පසු රෝම ස්ත්‍රීන් හා ළමුන්ද බාබේරියන්වරුන්ට  ගොදුරුවීම තුළින් රෝමයේ පැවති සංස්කෘතික හරපද්දතීන්ද අභාවයට යන්නට ඇත. එසේම ආක්‍රමණිකයන්ට යුරෝපය තුළ පැවති කලා නිර්මාණයන් ගැන කිසිදු තැකීමක් තිබුණේ නැත. ඒ නිසාම රෝම යුගයේ පැවති වටිනා කලාඅංග අභාවයට යන්නට ඇත. ඒ අනුව රෝප යුගයට තිබූ වටිනා කම මධ්‍යතන යුගයේ නැතිවී යාම තුළින් එම යුගය අදුරු යුගයක් ලෙස පසු කාලීන ඉතිහාස{යන් විසින් හදුන්වා දෙන්නට ඇත.
ඒ එක්කම යුද වාතාවරණය නිසා රෝම යුගයේ සිටි වැදගත් වෘත්තිකයන් මෙන්ම, කලා ශිල්පීන් ආදීන් සතුරාගෙන් මියයාම හෝ අදාල ප්‍රදේශ හැරදා යෑම නිසා ඒ ඒ ක්‍ෂෙත්‍රයන්ගේ බිදවැටීමත් මෙවන් අදුරුයුගයක් බිහිකරන්නට නිතැතින්ම එක් හේතුවක් වන්නට ඇත. තවද අධ්‍යාපනික මධ්‍යස්ථාන හා ශාස්ත්‍රීය අධ්‍යාපනය පිළිබදව කීර්තිමත්බාවයක් ඉසිලූ පුද්ගලයන්ගේ මරාදැමීම හෝ එවන් අය බිහිනොවීමත්  නිසා දැනුමෙන් පෝෂනය වූ මිනිසුන් වෙනුවට හිස් මිනිසුන් බිහිවී සිතන්නට, තර්කකරන්නට ශක්‍යතාවය ඇති පුද්ගලයන් බිහිනොවීමත්, ප්‍රභූවරුන්වූවත් දැනුමෙන් නුවනින් හෙබි අය වෙනුවට මරණීය ක්‍රීඩා ප්‍රිය කළ රනශූරයන් එදා සුපිරි වීරයන් වීම සිදුවන්නට ඇති.
එසේම රෝම හමුදාව සතුව තිබූ බර ආයුධ අභිබවා යෑමේ ශක්තිය පවා බාබේරියන්වරු සතුවූ නිසා රෝම වරුන්ට මෙම ගෝත්‍රික කණ්ඩායම් පරාජය කිරීමේ හැකියාව නොවූ බව සදහන්වේ. ඒ නිසාම ඉතා කෘර ලෙස මෙම මිලේච්ඡ කණ්ඩායම් රෝමවරුන් පරාජයට පත් කරන ලදී. එවැනි හේතූන් නිසා නැවත රෝම අධිරාජ්‍ය ගොඩනැංවීමට තරම් ශක්තිමත් රජකු මධ්‍යතන යුගය අවසන් වන තෙක්ම බිහි නොවීය.
ඒ එක්කම මේ ඉතිහාසඥයන් මේ අදහස එනම් මිනිසුන්ගේ ගුණදම් බිදවැටීමට ප්‍රතිවිරුද්ධ අදහසකුත් දක්වනවා ඇත. එනම් පසුකාලීනව ක්‍රිස්තියානිකරණයවූ රෝම අධිරාජ්‍යයේ මිනිසුන් ඒ නිසා රණකාමීත්වයෙන් තොර මිනිසුන් බවට පත්වු බවටද අදහසක් දක්වනවා. ක්‍රිස්තියානි ආගමත් සමග මිනිසුන් මෙලොව එකිනෙකා පරයා සිටිනවාට වඩා මරණින් මතු දෙව්ලොව යාමේ බලාපොරොත්තුවෙන් ඒ වෙනුවෙන් වැඩකටයුතුවල නිරතවීමත් රණකාමිත්වය දුර්වලවූ බවට ඔහු හේතු දක්වනවා. එම දුර්වලත්වය තුළ මධ්‍යතන යුගය තව දුරටත් අදුරු යුගයක් බවටම පත් කළ බව කිව හැකි ය. රෝම යුගයේ මිනිසුන් තුළ තිබූ කලා කාමීත්වය, රණශූරත්වය මෙම යුගයේ නැතිවී ගියේ ද නැති නම් මිනිසුන් තුළ තිබූ රණශූරත්වය වෙනත් අතක් වෙත යොමු වුණිද යන්න නිශ්චය කළ නොහැකි ය. මන්ද මධ්‍යතන යුගය තුළ මින්සුන් සතුන් සමග කළ අමානුෂික ක්‍රීඩා ආදිය ප්‍රිය  කළ බවක්ද දැකිය හැකි නිසාය.
වෙ‍ගෙටිවු නම් ඉතිහාසඥයා පවසන අන්දමට දුර්වල හමුදා බිහිවීම නිසාම රෝම යුගයයෙන් පසු යුරෝපය අදුරු යුගයක් බවට පත්වීමට හේතුවක් වන්නට ඇති බවයි. තවද අතර් පෙරිල් සහ A.H.M. ජෝන්ස් වැනි ඉතිහාසයඥයන්ද මේ අදහසට යම් නෑකමක් කියන අදහසක් දක්වනු ලැබේ. එනම් රෝම අධිරාජ්‍ය පුළුල් වෙත්ම එය ආරක්‍ෂාකිරීමට මෙන්ම අල්ලා ගන්නා ලද ප්‍රදේශ වලින් ජර්මැනික් කුලී හේවායන් රෝම මහා හමුදාව තුලට අන්තර්ග්‍රහණය කිරීම හේතුවෙන් පසුකාලීනව මේ හමුදා කණ්ඩ විශාල වශයෙන් සමන්විත වූයේ ජරමැනික් කුලී හේවයන්ගෙනි. මේ ඉතිහාසඥයන් මෙය "ජර්මැනිශේෂන්" ලෙස අර්ථ දක්වන අතර කලක් ගතවෙත්ම හමුදාව තුල සභ්‍යත්වය මෙම විවිධ අදහස් ඇති පුද්ගලයන් නිසා ‍බිදීයන්නට ඇති බවත් මේ නිසා ඉබේම හමුදා මිලේච්ජත්වයට පත් වීම අධිරාජ්‍ය‍යේ සමස්ථ හමුදා පද්දතිය දේශහිතෛශී ආකල්පයන්ගෙන් දුරස්වූ පද්දතියක් බවට පත්වීමට මෙන්ම අධිරාජ්‍යයාට හෝ තම උසස් හමුදා නිලයන්ට හිතවත්භාවය ගිලිහී යාම නිසා පිටත මිලේච්ඡ ආක්‍රමණ මෙන්ම හමුදාව තුලින්ම සිදුවූ මිලේච්ඡ නොසන්සුන්තාවයන්, කැරලිගැසීම් අධිරාජ්‍යයේ පැවැත්මට බරපතල තර්ජනයක් වන්නට ඇති බවටයි. එමෙන්ම එංගලන්තයේ යුද ඉතිහාසඥයෙකුවන එඩිරියන් ගෝල්ඩ්ස්වර්ති ගේ පොතක් වන The Complete Roman Army (2003) අනුව රෝම හමුදාවන්ට පසුකාලීනව බාහිර සතුරන් මර්ධනයට වඩා රට අභ්‍යන්තරයේ හටගත් සිවිල් යුද්ද මැඩපැවැත්වීමට මුල්තැන දෙන්නට සිදුවීමද මෙම අධිරාජ්‍ය අදුරු යුගයක් කරා ගෙනයාමට තවත් හේතුවක් වී ඇත.
එසේම හමුදා නඩත්තුව වැනි කටයුතු සදහා අධික බදු අය කිරීම නිසා මිනිසුන් කෘෂිකර්මාන්තයෙන් දුර්ස්වීම වැනි හේතු තවත් ආකාරයකින් ආර්ථිකයට පහරක්වීම රෝමයේ සමෘද්ධිමත්භාවය ගිලිහී යන්නට එක් හේතුවක් වන්නට ඇත. එසේ ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමය බිද වැටීම තුළින් රෝමයේ ආර්ථික ස්ථාවරත්වයට බිද වැටීමත් කෘෂිකර්මාන්තයෙන් දුරස්වූ මිනිසා මුදල් ඉපයීම උදෙසා ඉතා මිලේච්ඡ ක්‍රියාවන්ගේ නිරත වන ආකාරය දැකිය හැකි ය. ඒ අනුව මාරාන්තික ක්‍රීඩාවන් වලපවා නිරතවන ආකාරයත් තම බලය පෙන්වන ආකාරයත් දැකිය හැකි ය.
අර්නෝල්ඩ් J. ටොයිබ් සහ ජේම්ස් බර්ක් යන ඉතිහාසයඥයන් දක්වන ආකාරයට මෙම මධ්‍යතන අවදිය අදුරු යුගයක් කරාගෙන යාමට බලපෑම් කළේ වෙනත් හේතූන්ය. එනම් ආරම්භයේ පටන් රෝම අධිරාජ්‍යයේ තිබූ පාලන විධික්‍රම යාවත්කාලීන නොවී එකතැන පල්වූ බවයි. එහි අයවැය සම්පාදනයක් වැනි ආර්ථික කළමණාකරණ සංකල්පයක් නොතිබූ බවට ඔවුන් මත පල කරයි. තවද ක්‍ෂය වන සම්පත් හා නාස්තියට පත්වන සම්පත් හදුනාගැනීමට හෝ ඒවා රැක ගැනීම පිළිබදව අතීත රෝමානුවන්ට ආකල්ප නොතිබූ බවද ඔවුන්ගේ අදහසයි. එහි තිබුනේ හැකි පමණින් කොල්ලකෑමේ නැතහොත් ලූටන සංකල්පයක් බව ඔවුන් පවසන අතර යටත්විජිතයක් අල්ලාගත් පසු එහි සම්පත් අවිචාරවත් අන්දමට කොල්ලකෑම හෝ ඒවායෙන් හිතූමනාපයෙන් බදු එකතුකිරීම ආර්ථික වශයෙන් රෝම අධිරාජ්‍ය පසුකාලීනව පසුගාමීවීමට බලපෑ අන්දම ඔවුන් පැහැදිලි කරයි.මේ තත්ත්වය රෝම යුගයේ පමණක් නොව ඉන්පසුව පැමිණි මධ්‍යතන යුගයේ පවා දීර්ඝ කාලයක් පැවති බවට සාක්‍ෂි එමටය.
ඇමරිකානු මහාචාර්යවරයෙකු වන ජෝෂප් ටෙයින්ටඩ්ගේ The Collapse of Complex Societies නම් ග්‍රන්ථයට අනුව රෝම අධිරාජ්‍යයේ පුළුල් වීම මෙන්ම දිනෙන් දින වැඩිවන ජනගහණයට ප්‍රමාණවත් පරිදි කෘෂිකාර්මිකව ආහාර නිපදවීම විවිධ කාරණා නිසා සිදුනොවීමද රෝම අධිරාජ්‍ය බිදවැටීමද තවත් හේතුවකි. මෙයින් මිනිසුන් කුසගින්නේ සිටීමට සිදුවීම, දිළින්දන් හා වහලුන් මේ නිසා විවිද රෝගාබාද වලට ලක්ව මියයාමෙන් ශ්‍රම බලකායේ හීනවීම හා බෙලහීන තත්ත්වයකට පත්වීම මෙන්ම විවිද නොසන්සුන් තත්ත්වයන් ජනතාව අතර ඇතිවීම සිදුවන්නට ඇත. මෙවැනි තත්ත්වයන් ඉන්පසුව පැමිණි මධ්‍යතන යුගයේදීද දැකගත හැකිවිය. ඒ අනුව මධ්‍යතන යුගය අදුරු යුගයක් බවට පත්වීම සදහා පසුබිම සකස් වන්නේ රෝම යුගයේ පැවති සමාජ, ආර්ථික තත්වයන්ගේ බලපෑම නිසා බවද අපට මේ තුළින් හදුනාගත හැකි ය.
Plagues and Peoples නම් ග්‍රන්ථය සම්පාදනය කල   ඉතිහාසයඥ විලියම්.H.මැක්නිල් ගේ මතයට අනුව වසූරිය, සරම්ප ‍මෙන්ම තවත් විවිද ලෙඩරෝග වසංගත තත්ත්වයෙන් විවිද කාලවකවානුවල ව්‍යාපත්වීමද රෝම අධිරාජ්‍යයට උදාකලේ අයහපතක් බවයි. ක්‍රි.ව. 165 තරම් ඈතකාලයේ පටන් මෙලෙස රෝග වසංගත තත්ත්වයෙන් ව්‍යාපත්වීම සිදූවූ බව ඔහු සදහන් කරන අතර එය අධිරාජ්‍යයේ සියළු අංශ ඒ අවදිවලදී අඩපණකර දමන්නට ඇති බව ඔහුගේ මතයයි. එසේම පසුව රෝම අධිරාජ්‍යයේ කොටස් නතුකරගත් ම්ලේච්ඡයන් වෙතින්ද ඔවුන් අතර තිබූ විවිධ ලෙඩරෝග ව්‍යාපත්ත වන්නට ඇති අතර මිනිසුන්ට පමණක් නොව සතුන්ට හා ශාකවලට වැලදෙන ලෙඩරෝගද ඔවුන් සමග පැමිනණන්නට ඇත. එසේ පැතිරුණ ලෙඩරෝග හේතුවෙන් රෝම අධිරාජ්‍ය බිදවැටීමෙන් පසුව උදාවු මධ්‍යතන යුගය තුළදීද එම ලක්ෂණයන් තවදුරටත් පැවති නිසා මධ්‍යතන යුගය අස්තාවර වීමට එය ද හේතුවන්නට ඇති බව පැවසිය හැකි ය.
ජෙරම් නිරයගු නම් භූරසායණික විද්‍යාඥයා පවසන අන්දමට රෝමානුවන්ට එදා අද්භූත ලෙඩවලටද ගොදුරුවන්නට සිදුවිය. එයට හේතුව ලෙස ඔවුහු දක්වන්නේ ඊයම් විශ‍වීමෙන් ඔවුන් නොදැනුවත්වම සුවකල නොහැකි පිළිකා ආදියට ගොදුරුවී ඒවා වැලදුන හේතුවවත් නොදැන විවිධ රෝමානුවන් මිය පරලොව යන්නට ඇති බවයි. ඔහු විසින් 1983 දී රචිත "Lead poisoning contributed to the decline of the Roman empire" නම් ග්‍රන්තයට අනුව කරුණු රැසක් මේ පිළිබදව ඔහු විසින් හෙලිකර ඇත. ඔහු විසින් ගැඹුරින් පුරාණ රෝමවරුන් ගැන පර්යේෂණ කල අතර එහිදී ඔහු රෝමවරුන්ගේ රසකාරක ද්‍රව්‍ය ගැනද අවධානය යොමුකලේය. එහිදී සොයාගත් කරුණුවලට අනුව රෝමවරුන් defrutum නම් සීනි සිරප් වර්ගයක් මී පැණි වලින් තනා ගෙන ඇත. ඒ සදහා මී පැණි උණු කර ඇත්තේ ඊයම් මිශ්‍රිත බදුන්වලය. මේ සීනි සිරප් වර්ගය එදා ඔවුන්ගේ විවිද ආහාර රසවත් කර ගැනීමට බහුලව භාවිතා කර ඇති අතර එයින් රෝමවරුන් බහුලව ඊයම් හේතුකාරක වූ‍ රෝගාබාදයන්ටද නිරායාසයෙන්ම ලක්වන්නටද ඇත. මේ විතරක් නොව එදා විද්‍යාවට හසුනොවූවද ඒඩ්ස්, සමාජ රෝග, වෙනත් ආකාරයේ සුවකල නොහැකි රෝග මනුෂ්‍ය සමාජයට දැවැන්ත බලපෑමක් ඇති කරන්නට ඇති බවද එය පසුකාලීනව එළඹි මධ්‍යතන අවධිය තුළද තිබෙන්නට ඇත. ඒ නිසාම මධ්‍යතන අවධියේ ජීවත්වූ පුද්ගලයන් රෝගාබාදවලට හා බෙලහීනත්වයට පත්ව සිටින්නට ඇති බවද විශ්වාස කෙරේ.
යුරෝපයේ මධ්‍යකාලීන අවධිය ගැන හැදෑරූ ප්‍රවීණයන්ගේ තවත් මතයක් වන්නේ පාරිසරික සාධකද මධ්‍යතන අවධිය අදුරු කාලයක් වීමට යම් ආකාරයකින් හේතුවක් වී ඇති බවයි. ඇතැම්විට ස්වභාවදර්මයේ බලපෑමෙනුත්, තවත් අවස්ථාවක නිසි කළමණාකරණයක් නොතිබූ රෝමානුවන්ගේ බලපෑමෙනුත් මෙවැනි දේ සිදුවූ බව පැවසේ. පාංශු ඛාදනය මෙන්ම නිසි ජලකළමණාකරණයක් පවත් නොගෙනයාමද නිසා ඇතැම් සශ්‍රිකබිම් යලි කිසිදා වගාකල නොහැකි නිසරු බිම් හෝ කාන්තාරබවට පත්වූ බව ඔවුන් පවසයි. උතුරු අප්‍රිකාවේදී මෙවැනි බිම් හමුවන බවද ඔවුන් පවසන අතර තවත් අයුරකින් අවචාරවත් අන්දමින් සතුන් දඩයම් කිරීම හෝ අල්ලා ගෙන විවිද විනෝද කටයුතුවලට යොදවා ගැනීම හේතුවෙන් සමහර සතුන් මිහිතලයෙන් වදවීයාමටද රෝමන්වරු දායකවී ඇතිබවටද චෝදනා නැගේ. මෙහි දැක්වු ස්වාභාවික හා මනුශ්‍ය බලපෑමෙන් ඇතිවූ පාරිසරික විපර්යාස හා වෙනත් හේතු නිසා පිරිසිදු ස්වාභාවික ජල ප්‍රභවයන් සදාකාලිකව හිදීයාම හෝ දූෂිත තත්ත්වයට ලක්වීම නිසා ඉතිහාසයේ ඇතැම් අවස්ථාවලදී මිනිසුන් ජල හිඟයන්ටද ලක්වූ බව මෙම ප්‍රවීණයන් දක්වා ඇත. මෙවැනි හේතු රෝම යුගයෙන් පසුව උදාවූ මධ්‍යතය අවධියේ ජීවත් වූ මින්සුන් කෙරෙහි සෘජුවම බලපෑම් කරන්නට ඇති බව ඉතිහාසඥයන්ගේ මතයයි. ඒ නිසා මධ්‍යතන අවධියේ ජීවත් වූනන්ට ස්ථාවරත්වයකට පත්වීමට අවස්ථාව උදානොවූ බව මොවුන් පෙන්වාදේ.
මෙසේ මධ්‍යතන යුගයේ සමාජ තත්වය බිදියන විට සාර්ථකත්වය කෙසේවෙතත් ඒ වන විට දීර්ඝ කාලයක් යම් පිළිවෙලකට පවත්වාගෙනආ යාන්ත්‍රණය ලිහිල්වීමත් සමග පරිපාලණමය, දේශපාලනිකමය, ආර්ථිකමය, සංස්කෘතිකමය මෙන්ම සභ්‍යත්වයේ කඩතුරාවන්ද පාමුලට වැටී සමාජ ව්‍යුවහය නිරුවත් වීම සිදුවිය. සාධාරණත්වය, යුක්තිය වීම වෙනුවට ශක්තිය, යුක්තිය වීම සිදුවිය. මේ තත්ත්වය මධ්‍යතන යුගයේදී සුලභ ලක්‍ෂනයක් විය. එසේම රෝම අධිරාජ්‍යයේ පරිහාණියට පලපෑ බොහෝ කරුණු රෝමවරු හෝ එම පාලනය බිදවැටුනාට යුරෝපා සමාජයෙන් වියැකී නොගොස් ශේෂවී දීර්ඝ කාලයක් එම සමාජයට විවිධ අහිතකර බලපෑම් ගෙන දෙමින් අන්ධකාර යුගයක් ස්ථාපිත කර තබාගන්නට මූලික හේතු බීජ පතුරුවන්නට ඇත.

No comments:

Post a Comment