Sunday, October 12, 2014

අනුරාධපුර රාජධානියේ බිඳවැටීම


අනුරාධපුර රාජධානියේ බිඳවැටීම පිළිබඳව ඓතිහාසික මූලාශ්‍ර ඇසුරුකොට ගනිමින් ගැඹුරින් විමර්ශනය කිරීම මෙම ලිපියේ මුඛ්‍ය පරමාර්ථය වේ.

IV වැනි මිහිඳු රජුගේ අවෑමෙන් ඔහුගේ පුත් දොළොස්‌ හැවිරිදි සේන කුමරු රාජ්‍යත්වයට පත් විය. ඪ වැනි සේන (ක්‍රි.ව. 972-982) යන නමින් රාජ්‍යත්වයට පත් වූ මෙරජු කලිඟු වංශික මෙහෙසියකට දාව පුතෙකි. මෙරජුගේ සෙන්පතියා වූයේද තම පිය රජු (එනම් IV වැනි මිහිඳු රජු) ට සේවය කළ සේන නම් වූ සෙනවියා . වැඩි කලක්‌ ගතවීමට පෙර සේන රජු හා සේන සෙනවියා අතර ආරවුලක්‌ ඇති වී එය බල අරගලයක්‌ දක්‌වා වර්ධනය විය. මෙම අරගලයට මූලික කාරණාව වූයේ, සේන සෙන්පතියාගේ බාල සොහොයුරා වූ මහාමල්ල මෙරජුගේ මෑණියන් සමඟ අනියම් සම්බන්ධතාවයක්‌ ඇති කරගැනීම යෑයි කියෑවේ. මේ වග දැනගත් රජු මහා මල්ල මරණයට පත් කළේය. තම බාලසොහොයුරා මරණයට පත් කිරීම පිළිබඳව කෝපාවිෂ්ඨ වූ සේන සෙන්පතියා රජුට එරෙහිව අවි අමෝරා ගැනීමත් සමඟම, රජු එයට මුහුණ දීමට නොහැකිව රුහුණ දේශයට පලා ගියේය. ඉක්‌බිතිව මව්බිසව සේන සෙනවියා සමඟ එක්‌ව පොළොන්නරුව රාජ්‍ය පාලන මධ්‍යස්‌ථානය බවට පත් කර ගනිමින් රාජ්‍ය පාලනය කළාය. මෙම ව්‍යාකූල දේශපාලන වාතාවරණයෙන් ලද ප්‍රතිඵලය වූයේ... අනුරාධපුර ප්‍රදේශය කේරළ හමුදාවන් අතට පත්වීමයි. චෝල හමුදාවෝ රටවැසියා තලාපෙලා ඔවුන් සතු දේපොළ කොල්ල කාගත් බව චූල වංශයේ (54 පරි. ගාථා 67-68) සඳහන් වේ. එතෙක්‌ රුහුණ දේශයේ ආරක්‍ෂිතව විසූ V වැනි සේන රජු, සේන සන්පතියා පරාජය කරනු වස්‌ සේනාවක්‌ යවන ලද මුත්, රජු නොසිතූ විරූ ලෙස පරාජයට පත් විය. අවසානයේදී රජු හා සේන සෙන්පතියා අතර සමඟි සම්මුතියක්‌ ඇතිවිය. IV වැනි සේන රජු දස වසරක්‌ පමණ රාජ්‍ය පාලනය කොට මැත්පැනට ලොල්ව අකාලයේ පොලොන්නරුවේ දී මිය ගියේය.

ඉක්‌බිතිව මෙරජුගේ බාල සොහොයුරා වූ මිහිඳු කුමරු රාජ්‍යත්වයට පත්විය. V වැනි මිහිඳු (ක්‍රි.ව. 982-1029) යන නමින් රාජ්‍යත්වයට පත් වූ මෙරජු අනුරාධපුර සේසත් නංවා සේන සෙන්පතියා විසින් මෙරටට ගෙන්වන ලද නානා දේශයන්හී ජනයාගෙන් ව්‍යාකූලව ගිය එනුවර අපමණ දුක්‌ කම්කටොළු මධ්‍යයයේ දස වසරක්‌ පමණ රාජ්‍ය පාලනය කළ බව චූලවංශයේ (55 පරි. 1-3 යන ගාථා) සඳහන් වේ. මෙම විස්‌තරයට අනුව ගම්‍ය වනුයේ. V වැනි සේන රජුගේ රාජ්‍ය පාලන සමයේදී ඇති වූ දේශපාලන අවුල් වියවුල් නිසා සේන සෙන්පතියා විසින් නානා දේශයන් හී භටයන් මෙරටට කැඳවාගෙන විත් තිබුණු බවයි. මෙමගින් මෙරජුට අපමණ දුක්‌ කම්කටොළු අතවරයන් මධ්‍යයේ රාජ්‍ය පාලනය කිරීමට සිදු විය. මෙය චූලවංශයේ මෙසේ සඳහන් වේ.

"ඉවත් කළ නීති මාර්ග ඇති සර්වප්‍රකාරයෙන් මෘදු වූ උහුට අය කොටස එක ජනපද වැස්‌සෝ නොදුන්හ. අතිශයින් වස්‌තු හීන වූ ඒ රජ තෙමේ දසවන හවුරුදුයෙහි වැටුප් දීමෙන් සිය සෙන් පොහොනට නොහැකි විය. පසුව නොබලන ලද වැටුප් ඇති සියලු කෝරළයෝ එක්‌ව අවුත් "අප වැටුප් දානය යම්තාක්‌ නොවේ නම් ඒ තාක්‌ මේ මනා නිමවා යි" රජගෙයි දොරකඩ අත්‍යත්ථයෙන් හදු සාහසික ක්‍රියා ඇතිව දුනු ගත් අත් හා සැරසුනු සිරි අවි ඇතිව හුන්හ. (රජතෙමේ) උන් රවටා හස්‌ථසාර දෙය ගෙන උමගකින් පිටත්ව යුහුව රුහුණු ගියේය".

(55 වැනි පරිච්ඡේදය 3-7 යන ගාථා)

මෙම විස්‌තරයෙන් එකල්හී අනුරාධපුර රාජධානියේ පැවැති දේශපාලන වාතාවරණය මැනවින් අවබෝධ කරගත හැකිය. මෙලෙස අරාජික වූ අනුරාධපුර රාජධානිය කේරළ කන්ණාට සේම සිහළ යන සේනාවන්ට රිසි පරිදි පාලනය වී යෑයි කියෑවේ. මෙවන් වූ අවුල් වියවුල් වලින් ගහන ලක්‌දිව පිළිබඳව එතරින් මෙරටට පැමිණි අශ්ව වෙළෙන්දෙකුගේ මාර්ගයෙන් එවකට බලසම්පන්නව සිටි චෝල අධිරාජ්‍යා වූ I වැනි රාජරාජ (Rajaraja The i/985- 1014 A.D.) ට දැනගන්නා ලැබුණි. ඔහු වහාම චෝල සේනාවක්‌ එවන ලදී. ඔවුහු ලක්‌දිවට ගොඩබට දා පටන් රට වැසියා තලා පෙළමින් ක්‍රම ක්‍රමයෙන් චෝල බලය රුහුණු දේශය දක්‌වාම ව්‍යාප්ත කිරීමට යුහුසුලු වූහ. ඉක්‌බිතිව ක්‍රිස්‌තු වර්ෂ 1017 දී V වැනි මිහිඳු රජු ජීවග්‍රහයෙන් අල්ලාගෙන දකුණු ඉන්දියාවේ තන්ජෝරය (Tanjore) වෙත රැගෙන යන ලදී, මෙතැන් පටන් චෝල අධිරාජ්‍යා ලක්‌දිවෙහි (ආක්‍රමණික) පාලකයා බවට පත් විය. චූල වංශයේ සඳහන් (55 පරි: 33 ගාථාව) වන පරිදි අවාසනාවන්ත ඉරණමකට උරුමකම් කියූ V වැනි මිහිඳු රජු තන්ජෝරයේ සිරකරුවෙකුව දොළොස්‌ වසක්‌ හිඳ එහිදීම මිය ගියේය. ඒ ක්‍රි.ව. 1029 දීය. ඉක්‌බිතිව පොළොන්නරුව තම අගනුවර කරගත චෝලයෝ රාජ්‍ය පාලනය කළ අයුරු චූලවංශයේ මෙසේ සඳහන් වේ.

ඒ සොලීහු රජුහු සතිස්‌වන වස්‌ හී මෙහෙසිය රතනයත ක්‍රමාගත ඔටුන්න එසේම ස්‌වර්ණාභරණය දෙවියන් විසින් දෙන ලද අමූල්‍ය වීදරු වළල්ල කැඩිය නොහැකි සිරිය කපන ලද පටි ධාතුය යන මෙතෙක්‌ දැ හා භයින් වන දුර්ගයට වන ඒ රජු සමඟ අදහසක්‌ දක්‌වා ජීවග්‍රහයෙන් ගත්හ. ඉක්‌බිති එරජුද හස්‌තගත සියලු වස්‌තු ද සොළී රජු කරා යෑවූ හ. (ඒ සොළීහු) තුන් නිකාහි දාගැබ් ද මුළු ලක්‌දිව තලයෙහි මහැඟි නොයෙක්‌ ස්‌වර්ණාදි පිළිබිඹු එසේම ඒ ඒ වෙහෙර සියල්ල ද ලාහෙලා බිඳ ගෙණ ඔජස්‌ උරණ යකුන් සේ ලක්‌දිවෙහි සාරය ගත් හ.

(55 වැනි පරිච්ඡේදය 16-22 යන ගාථා)

චෝලයන් විසින් ලක්‌දිව ආක්‍රමණය කිරීම පිළිබඳව චෝල වාර්තා හා දකුණු ඉන්දියානු සෙල්ලිපි වලින් හෙළිවන තොරතුරු මහාචාර්ය කේ. ඒ. නීලකණ්‌ට ශාස්‌ත්‍රී (Prof. K. A. Nilakanta Sastri) මහතා මෙසේ සඳහන් කරයි.

"ඊළම් - එනම් ලංකාව රාජරාජ රජතුමා අල්ලාගත් රටවල නාම ලේඛනයට ඇතුළත් වී තිබේ. අට දිශාවේම පතල වූද. චන්ඩ සිංහලයන්ට අයත් වූද, ඊළ මණ්‌ඩලම් මේ රජතුමා විසින් අල්ලා ගන්නා ලදී. තමන් විසින් තන්ජෝරි හී ඉදිකරන ලද අලංකාර කෝවිලට ලංකාවේ ගම් කීපයක්‌ද සොළී රජ ප්‍රධානය කළේය".

(The Ceylon Historical Journal - Vol. 4 Nos. 1, 2, 3, 4 pages 33 ff)

චෝලයින් විසින් ලක්‌දිව ආක්‍රමණය කිරීම පිළිබඳව තිරුවාලන්ගාඩු සෙල්ලිපිවල මෙසේ සඳහන් වේ.

"වානරයන්ගේ සහාය ඇතිව රාමා විසින් මුහුද හරහා පාලමක්‌ සකස්‌ කිරීමෙන් පසු තියුනු හී වලින් විද ලක්‌දිවෙහි රජ ඉතා අමාරුවෙන් මරා දැමීය. එහෙත් රාමාටත් වඩා උසස්‌ වූ රජතුමා තමාගේ බලසම්පන්න සේනාව නැව්වලින් මෙරටට එවා රජු විනාශ කර දැම්මේ ය."

(The Ceylon Historical Journal - Vol. 4 Nos. 1, 2, 3, 4 pages 33 ff)

මෙම ඓතිහාසික මූලාශ්‍රයන් හී තොරතුරු වලට අනුව ෂ වැනි මිහිඳු රජු රාජ්‍යත්වයට පත් වී අවුරුදු දහයක්‌ හෝ එකොළහක්‌ ගතවීමෙන් ඉක්‌බිතිව බව මහාචාර්ය කේ. ඒ. නීලකණ්‌ට ශාස්‌ත්‍රී මහතා සඳහන් කරයි. චූලවංශයේ සඳහන් වන පරිදි V වැනි මිහිඳු රජුගේ රාජ්‍යත්වයෙන් අවුරුදු තිස්‌හයක්‌ ගතවීමෙන් ඉක්‌බිතිව සිදු වූ මෙම ආක්‍රමණය I වැනිරාජ රාජ රජුගේ පුත්‍රයා වූ I වැනි රාෙ-න්ද්‍ර (Rajekadra th 1/) විසින් සිදුකරන ලදී. ඪ වැනි මිහිඳු රජු රාජ්‍යත්වයට පත් වීමෙන් දසවසක්‌ ගෙවී යත්ම, රටෙහි අවුල් වියවුල් පැමිණි කාලවකවානුවේදී මෙම චෝල ආක්‍රමණය සිදු වන්නට ඇත. V වැනි රාජරාජ රජු ලක්‌දිව ආක්‍රමණය කොට උතුරු ප්‍රදේශ යටත් කරගෙන ඊට "මුම්මඩු සොල මණ්‌ඩලම්" යනුවෙන් නම් කොට තිබුණු බවට දකුණු ඉන්දියානු සෙල්ලිපි වලින් සාධක ලැබෙන් බව මහාචාර්ය කේ. ඒ. නීලකණ්‌ට ශාස්‌ත්‍රී මහතා සඳහන් කරයි.

චෝල රජු මෙරට උතුරු හා උතුරු තැනිතලා ප්‍රදේශ ආක්‍රමණය කොට පොළොන්නරුව අගනුවර කොට ගෙන ඊට 'ජනනාථ මංගලම්' යන නාමය ඇරූඨ කළ බව කියෑවේ. I වැනි රාජ රාජ රජු විසින් මෙරට පිහිටවන ලද සෙල් ලිපි (A.L.T.A.R.I.C. - 1938/p. 47) වලින් සනාථ වන ආකාරයට පළමුවැනි රාජ රාජ රජු විසින් මාන්තොට (එනම් මහාතීත්ථ) ප්‍රදේශයේ ශිව දේවලයක්‌ ඉදි කිරීමෙන් ඔහු තමාගේ ජයග්‍රහණය හුවා දැක්‌වූවා යෑයි කියා සිතිය හැකි බව මහාචාර්ය කේ. ඒ. නීලකණ්‌ට ශාස්‌ත්‍රී මහතා සඳහන් කරයි. () මෙරජුගේ ඇවෑමෙන් රාජාත්වයට පත් ඔහුගේ පුත් I වැනි රාෙ-නද්‍ර රජු මුළු ලක්‌දිවම (ඊළ මණ්‌ඩලම්) යටතේ කර ගත් බව දකුණු ඉන්දියානු සෙල් ලිපි වලින් සනාථ වේ. (T.C.H.J. - Vol. 4 Nos. 1, 2, 3, 4 pages 33 ff) චූලවංශයේ (55 පරි. 16-17 ගාථා) සඳහන් වන පරිදි I වැනි රාෙ-න්ද්‍ර රජු ලක්‌දිව ආක්‍රමණය කොට රාජිනියගේ ඔටුණුද, පාණ්‌ඩ්‍ය රජු මෙරට තබා ගිය ඉන්ද්‍රගේ මාලය ද මුළු ඊළ-මණ්‌ඩලයද අල්ලා ගත බව දකුණු ඉන්දියානු සෙල්ලිපි වලින් ද සනාථ වන බව මහාචාර්ය කේ. ඒ. නීලකණ්‌ට ශ්‍රස්‌ත්‍රී මහතා වැඩිදුරටත් සඳහන් කරයි (T.C.H.J. - Vol. 4 Nos. 1, 2, 3, 4 pages 33 ff).

එලෙස ක්‍රි.ව. 1017 දී චෝල ආධිපත්‍යට ලක්‌දිව නතු වීමත් සමගම පුරා අවුරුදු දහසක (ක්‍රි.පූ. 437-ක්‍රි.ව. 1017) ට වඩා ඉපැරැණි දිගු ඉතිහාසයකට දිවෙන ලක්‌ ඉතියාසයේ දේශපාලන, සමාජ, ආර්ථික සේම සංස්‌කෘතික වශයෙන් අතිශයින්ම වැදගත් වූ සිදුවීම් රාශියකට උරුමකම් කියූ අනුරාධපුර රාජධානිය (යුගය) යන නමින් හැඳිනුවුණු කාලපරිච්ඡේදයේ අවසානයද සනිටුහන් වන්නේය. වරින් වර විදේශීය ආක්‍රමණිකයන් විසින් මෙරට ආක්‍රමණය කරන ලද නමුදු ඔවුන්ගේ ආක්‍රමණය මෙතරම් විනාශ කාරී නොවූ බව මෙරට ඉතියාසය විමර්ශනය කර බලන කල්හී, මැනවින් පෙනී යයි. චෝලයන් මෙරට ආක්‍රමණය කිරීමෙන් ඉක්‌බිතිව මෙතෙක්‌ මෙරට අගනුවර වශයෙන් පැවැති අනුරාධපුර රාජධානියේ ශ්‍රීවිභූතිය මුළුමනින්ම විනාශ වී ගියේය. ඉක්‌බිතිව චෝලයන් විසින් තම අගනුවර වශයෙන් තෝරාගන්නා ලද්දේ, යුදමය අතින් අතිශයින්ම ඉතා වැදගත් මධ්‍යස්‌ථානයක්‌ වූ කඳවුරු නුවර නොහොත් 'පොළොන්නරුව' යි.

(කීර්ති කුමාරයා සොලී බලය බිඳ දමා ෂ වැනි විජයබාහු නමින් රාජ්‍යත්වයට පත් වූ කාල වකවානුව දක්‌වා ගෙවුණු වසර 83 කට ආසන්න කාලය ලක්‌දිවෙහි දේශපාලන වාතාවරණය අතිශයින්ම අවුල්සහගත විය. මෙකලහී දළදා වහන්සේ පිළිබඳ කිසිදු තොරතුරක්‌ මෙරට වංශකතාවල සඳහන් නොවේ. සොලී ආක්‍රමණය නිසා සිය හස්‌තසාර වස්‌තුවද රැගෙන පළා ගිය ඪ වැනි මිහිඳු රජු දළදා වහන්සේද රුහුණු දේශයට රැගෙන ගොස්‌ ආරක්‍ෂිත ස්‌ථානයක තැන්පත් කොට එය අප්‍රසිද්aධව ආරක්‍ෂා කර ගැනීම නිසා දළදා වහන්සේ පිළිබඳව කිසිදු තොරතුරක්‌ මහාවංශයේ කිසිදු සඳහන් නොවෙතැයි කියා අපට අනුමාන කළ හැකියි. - කර්තෘ)

එනමුත්, අනුරාධපුර රාජධානිය බිඳ වැටුනු කාලවකවාණුව තුළදී දළදා වහන්සේ පිළිබඳව කිසියම් වූ වැදගත් තොරතුරක්‌ දැනගනු වස්‌ ඉවහල් වන ඉතා වැදගත් සෙල් ලිපියක්‌ කිරින්ද ප්‍රදේශයෙන් සෙයා ගත හැකි විය. ඉතා දීර්ඝ කාලයක්‌ තිස්‌සේ කිසිවෙකුගේ නිසි අවධානයට ලක්‌ නොවීමෙන් කොටසක්‌ විනාශ වී ගිය මෙම සෙල් ලිපිය මුළුමනින්ම කියවා තොරතුරු අනාවරණය කර ගැනීමට නොහැකි තත්ත්වයක පවතී. එනමුත් සෙල් ලිපියේ ශේෂ වී ඇති කොටසින් දළදා වහන්සේ පිළිබඳව කිසියම් වූ වැදගත් තොරතුරක්‌ අනාවරණය කර ගැනීමට හැකිය.

"සිරි ලකළ සිරිලක්‌ දිවිහි හිරුගොත් කුලෙන් බට්‌ පඬු අභා නරනින්හුද් පරපුරෙන් ආ දෙබිසෙව්හී දා අහාසලමෙවන් මහරද්හු මුරෙහි දා එ රද්හු කුලෙන් සම දැ සහ්ගොන් රද්න කුස්‌හි උපන් සිය වික්‌මෙන් එක්‌ පැහැර රුහුණු මලමඩුලු තමා විසී කළ එදනවියෙහි පෙරෙ තෙරුනට්‌ බුද් සසුන් බලා අයෙදින් නියම්ගම් දී සතර් පස්‌ සුලබ් කැරු සැහැකුලට්‌ එක්‌ තලාටික්‌ වැ සිටි ඈපා මිහින්දහු විසින් පෙරෙ තුන් බුදුන් දා නින්දු තන්හී මෙ අප ගොයුම් දසබුල් යටිවම් දළදා වසා මහ තුම්බු කැර තුන්සිය තෙසැට්‌ පිරිවෙනින් ලකර් කොට්‌ කාවන්තිස්‌ මහ රද්හු තමා නම්නෙත් කැර දෙවි තිසරම් රද් මහ වෙහෙරේ".

(ලංකා සඟරාව - වර්ෂ 1991 මැයි කලාපය / 28 වැනි පිට)

මෙහි සඳහන් වන ඉතා වැදගත්ම කොටස වනුයේ( මෙකල්හී දළදා වහන්සේ ආරක්‍ෂාව පතා රුහුණු දේශයේ තිස්‌සමහාරාමයේ තැන්පත් කළ බව කියෑවෙන පාඨයයි. අනුරාධපුර රාජධානිය අනාරක්‍ෂිත වන සෑම අවස්‌ථාවකදීම දළදා වහන්සේ රුහුණු දේශයට රැගෙන ගොස්‌ ආරක්‍ෂා කිරීම සාමාන්‍ය සිරිත විය. තිස්‌සමහාරාමයේ චෛත්‍යක තැන්පත් කර පුද පූජා පවත්වන ලද්දේ ද එවන් වූ අවස්‌ථාවක රැගෙන ගිය දළදා වහන්සේ විය යුතුය, මෙම කාර්යය සිදු කරන ලද්දේ දෙබිසෙවැ ජා අභාසලමෙවන් මහ රද්හුගේ හා එම බිසවගේ පුත් වූ මිහිඳු ඈපාවන් විසිනි. දෙබිසෙවැ ජා අභාසලමෙවන් යන අපර නාමයෙන් ව්‍යවහාර වී ඇත්තේ අනුරාධපුර රාජධානියේ රාජ්‍යත්වයට පත් 5 වැනි කාශ්‍යප රජු (ක්‍රි.ව. 902-912) බව ශ්‍රීමත් ඩී. බී. ජයතිලක මහතා පවසයි. (සිංහල සාහිත්‍ය ලිපි - 1-4 වැනි පිටු)

No comments:

Post a Comment