Sunday, October 12, 2014

පඹලු උදුනේ කථාව

මීට වසර ගණනාවකට පෙරදී ජේතවනාරාම කෞතුකාගාරයට ගිය අපි එහි තිබූ පුරාවස්තු නරඹමින් සිටියෙමු. ඇස් හිත් අදහාගත නොහැකි වන විස්කම් පිරි පුරාවස්තු අතර අප සියලුම දෙනා සැරිසැරුවේ අපේම නෑදෑයන් අතරට කලකින් පැමිණි අමුත්තන් පරිද්දෙනි. ආභරණ තැන්පත් කළ ප්‍රදර්ශන කුටිය අප කණ්ඩායමේ පිරිමි පාර්ශ්වයට ඒ හැටි වැදගත් බවක් පෙනෙන්නට නොතිබිණි. එහෙත් අප කණ්ඩායමේ සහෝදරියන්ට නැරැඹීමට වැඩිම කාලයක් ගතවූයේ මේ කුටියටයි. අපට ආරක්‍ෂාව සලසමින් අප අතරම කැරැකි කැරැකී උන් සහෝදර පිරිසට අප ගත කළ කාලය පිළිබඳ වූවේ නොරිස්සුමකි. අපට ඔවුන්ගේ නොරිස්සුම දැනුණේවත් නැති තරම්ය. පිස්සුවෙන් මෙන් වීදුරු පෙට්ටි තුළට දෙනෙත් යොමා ඒ ආභරණ පිළිබඳ විමසුවෙමු. කහ, නිල්, කොළ, රතු, දම් පැහැති පබළු අද ඊයේ වෙළෙඳසලකින් මිලට ගෙනැවිත් තැබුවා සේය. ඇස්වලින් දැක විඳගැනීමෙන් සෑහීමකට පත් නොවූ අපි එකිනෙකා සමඟ ඒ පිළිබඳ අදහස් හුවමාරු කරගත්තෙමු. අපේ සීමාවක් නොමැති නැරැඹීමත්, කතාවත් ඉවසාගත නොහැකි තැන අප මිතුරකු ප්‍රදර්ශන කුටිය බාරව හුන් නිලධාරියාට කීවේ 'මේ ගැලරිය මේ ගෑනුන්ට නම් පෙන්වන්න එපා. මේ පේනවනේ පිස්සු හැදිල වගේ. දැන් කොච්චර වෙලා ගියාද' යනුවෙනි. ඒ තරමට අපි ඒ පබළුවලට වශී වුණෙමු. මීට වසර දෙදහසකට එපිට අතීතයට අයත් මේ පබළු කෙසේ නම් නිර්මාණය කරන්නට ඇද්ද? ඒ තාක්‍ෂණය කොපමණ දියුණුව තිබෙන්නට ඇද්ද? එදා මට මෙන්ම මා සමඟ උන් මගේ සෙසු සහෝදර කැලටද එසේ සිතුණු බව සහතිකය. එහෙත් එදා මම සැබෑවටම පබළු සෑදූ උදුනක් දෑසින්ම දකින්නට හැකිවේයැයි විහිළුවටවත් නොසිතුවෙමි. යකඩ උදුන් දැක බලා ගෙන තිබියද පැරැණි පබළු උදුනක් දැකීම ගැන අදහසක්වත් ඇති නොවුණේ එය එපමණටම දුලබ කර්තව්‍යයක් බව දැනගෙන සිටි බැවිනි. එදා ජේතවනයෙන් දුටු පබළු සේම වර්ණවත් දීප්තිමත් එකිනෙක පරයා නොයන පබළු ලංකාව පුරා පිහිටි කෞතුකාගාරවලදී මෙන්ම කැණීම්වලදී ද මම දැක ගත්තෙමි. ඒ සමඟම කාලය මට මාවම පුදුම කරමින් එක් තොරතුරක් ලබා දුන්නේය. ඒ මන්නාරම් ප්‍රදේශයේ ස්ථානයක අතීතයේ පබළු තැනූ උදුනක් සොයාගෙන ඇති බවය. ඒ තොරතුරු ඉබ්බා දියට දැමීමක් බඳු විය. හැකි ඉක්මනින් එය සොයා යෑමට ඇවැසි වුවද මාස හතර පහක්ම ගෙවී ගියේ ඊට ඉඩක් නොතබමිනි. එහෙත් පසුගියදා ඒ අරමුණ ඉටුකර ගැනීමට මඟපාදා ගත් අපි මන්නාරම් යෑමට ගමන් ඇරැඹුවෙමු. 'බල සුබ නිමිති පෙර මඟ නැකැතටත් වැඩී' යන්න සැබෑ කරමින් ඊට පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සෙනරත් බණ්ඩාර දිසානායකයන්ද අවසර දුන්නේ කිසිදු අදිමදි කිරීමක් නොකරමිනි. එසේම ඒ ගමන සඳහා සහභාගි වූ අපගේ පෙරගමන්කරු වූයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගවේෂණ සහකාර නිමල් පද්මසිරි මහතාය. ගමන නම් දුෂ්කරය. එහෙත් මේ දුෂ්කරතා මේ මහපොළොවේ උපන් අපට නුහුරු නුපුරුදු නොවේ. එය විඳිය යුතුමය. පුරාණ බුද්ධ ප්‍රතිමාවන්හි හිස සිඳ පපුකුහරය හාරා රනින් කළ නිධන් සොයනා නොමේරු මොළ ඇති මිනිසුන්ට මේ යන ගමන විකාරයකැයි සිතෙන්නට හැකිය. එහෙත් සැබෑවටම අතීතයට ලොබ බඳින්නකුට මෙය ආශ්චර්යවත් පුරාවස්තුවකි. නිමල් පද්මසිරි මහතා පවසන පරිදි මෙය පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ ඇස ගැටුණේ 2011 වසරේ දිනයකය. ඒ ඔවුන් විසින් මෙහි කරන ලද ගවේෂණ චාරිකාවකදීය. එම ගවේෂණයේ මූලිකයා වූයේ පර්යේෂණ සහකාර කල්ප අසංගය. ඔහුගේ තනි නොතනියට සේම රාජකාරියටද උරදුන්නේ ඩී. ඩබ්ලිව්. නිමල් පද්මසිරි මහතාත්, අයි. පී. එස්. නිශාන්ත මහතාත්ය. මෙය සොයා ගැනීමේ ගෞරවය හිමිවිය යුත්තේ ඔවුන්හටය. පබළු උදුන නිකංම නිකං පබළු උදුනක් නොවේ. මේ වීදුරු පබළු උදුනකි. ඉතින් එවැන්නක් ගැන දැන දැනත් නොබලා සිටින්නේ කෙලෙසකද? හිතට ඇත්තේ කුකුසකි. කිරිඔය නිම්නයේදීත්, සමනල වැව් කන්දේදීත් දුටු යකඩ උදුන් සේම මේ පබළු උදුනද හඳුනාගත හැකිද? ගිරිබාව ප්‍රදේශයෙන් හමුවූ පබළු උදුනත්, මන්නාරමෙන් හමුවූ බව කියන මේ වීදුරු පබළු උදුනත් සමානද? අතොරක් නැති ප්‍රශ්න හිත පුරවාලයි. විල්පත්තු කැලය මැදින් ඇදෙන වාහනය වරෙක ඉවතට විසිවේ යැයි සිතෙන තරම් ලිස්සනසුලු මාවතක යන්නේය. පහුවූ රාත්‍රියේ වට වැස්ස නිසාම තාර නොදැමූ පාරට ගොඩගැහුණු දූවිලිවලට දුවන්නට නොදී තදකර ඇත. මහන්සියත්, නිදිමතත් දෑස් පියාගන්නට බල කළද, මේ ඊට වෙලාව නොවේ. අප උපන් දේශයේ තේජවත් බව නොදැක ජීවත්වී කුමටද? මේ පරිසරය නොබලා ඉන්නේ කුමකටද? තැනින් තැන හමුවූ ආරක්‍ෂක කඳවුරු සේම, තැන තැන මැරී උන් ගෝනුන් වැනි සතුන්ද, පාර හරහා සෙල්ලම් කරනා ඕලු මුවන්, මොනරුන්ද බලමින් අපි මන්නාරම් නගරයට ළඟා වනවිට ඉරමුදුන්ව තිබිණි. 'මෙතැනින් හරවන්න. මේ පාර තමයි' නිමල් පද්මසිරි මහතා අපට මඟ ලකුණු පෙන්වයි. තිරුකේදිස්වරම් කෝවිල පසුකොට මඳ දුරක් ගිය ඔහු වන ළැහැබෙන් අසල වූ අඩිපාරක් දැක වාහනය නතරකොට 'ඔයාලා ඉන්න මම ඉස්සරවෙලා තැන මෙතැනද කියලා බලල එන්නම්' යැයි කියමින් වාහනයෙන් බැස ගියේය. මොහොතකින් යළි පැමිණ 'එතැන නෙවි දැන් කැලේ නිසා හොයා ගන්න ටිකක් අමාරුයි' කියමින් නැවත වාහනයට නැඟ මීටර් පහ හයක් ඉදිරියට ගොස් 'මෙතැන නතර කරන්න' කියමින් බැස ගියේය. මිනිත්තු කිහිපයකින් කැලේ අතරින් මතුවූ ඔහු 'හරි දැන් එන්නැයි' කීවේය. මඳකට යටපත්ව තිබූ පබළු උදුන දැකීමට වූ හදිස්සිය යළිත් මතුව ආවේය. නිමල් පද්මසිරි මහතා නැවත කුඩා අඩි පාර ඔස්සේ ඉදිරියට ඇදේ. කටුපඳුරු පිරි වන ළැහැබ ඔහු කී ලෙසම ඒ පෙදෙස ආක්‍රමණය කොට ගෙන ඇත. එහෙත් කටුපඳුරු බළඇණියට අප ගමන නතර කරලන්නට නොහැකිය. අත පය කටු අතුවලට සීරෙද්දීම නිමල් පද්මසිරි මහතා පසුපස අපි ඇදුණෙමු. තැන තැන වූවේ කොළපැහැති පොහොර කවර වළදැමූ වැලිකොට්ටය. 'මෙතැන යුද්ධ කාලෙ හමුදා බංකරයක් තිබිලා තියෙනවා. එයාලා දන්නෙ නැතිව මේ උදුනෙ එක බිත්තියක් උඩ තමයි ඒක හදල තිබිල තියෙන්නේ. එසේ කියමින් වළක් වැනි තැනකට බැස්ස ඔහු 'මේ තියෙන්නේ ඒ උදුනෙ කැඩුණු බිත්ති' යැයි කියමින් අඳුරු පැහැ යබොර වැනි කුට්ටි විශේෂයක් පෙන්වීය. කළුපැහැතිව ඝනකමට උණුව ගල්ගැසුණු ඒවා අතීතයේ තාක්‍ෂණයේ බලමහිමය උජාරුවට පෙන්වමින් සිටියේය. පුරාවිද්‍යාඥයකුට මෙවැන්නක් වැදගත් වන්නේ අතීත පරිසරය, සමාජය යළි ප්‍රතිනිර්මාණය කරගැනීමටය. ඒ යුගයේ වූ සංස්කෘතිය, හෙළිවන කැඩපත වන්නේ මෙවන් පුරාවස්තුය. ප්‍රාග් ඓතිහාසික යුගයේ සිටම, ලෝකයේ පබළු භාවිතය පැවැතියේය. ප්‍රංශයේ පිහිටි ලික්විනා (ඹ්ඪඳභඪදච) හි ප්‍රාග් ඓතිහාසික ස්ථානයෙන් සොයාගත් පබළු ක්‍රිස්තු පූර්ව 38,000දී පමණ නියන්ඩතාල් මානවයා භාවිත කරන ලද ඒවා සේ පුරාවිද්‍යාඥයෝ සලකති. ලංකාවේ හමුවන පැරැණිම පබළු සාධක හමුවන්නේ වසර 28,000ක් පමණ පැරැණි කුරුවිට බට‍ෙදාඹලෙනින් හමුවූ බෙලි කටු පබළුවකි. ලංකාවේ සිදුකර ඇති කැණීම්වලදී හෙළිකොටගෙන ඇති පරිදි ක්‍රිස්තු පූර්ව 900 - 600 අයත් මුල් යකඩ යුගයේදී ජනතාව අතර මෙම පබළු සුලබව භාවිත වී ඇත. ප්‍රාථමික යුගයට අයත් ඉබ්බන්කට්ටුව ආදී මහා ශිලා සුසාන තුළින්ද පැරැණි වරායන් හා ජනාවාස වෙළෙඳ මධ්‍යස්ථානවලින්ද මෙලෙස පබළු හමුවීමෙන් සමකාලීන සමාජයේ පබළුවලට වැදගත්කමක් හිමිව තිබූ බව ගම්‍ය වන්නේය. මෙලෙස හමුවන පබළුවල අලංකාරවත් බව, ප්‍රමාණය, යොදාගත් අමුද්‍රව්‍ය අනුව එදා සමාජයේ තරාතිරම, අභිචාර විධි, තාක්‍ෂණය, කලාකෞශල්‍යය පිළිබඳවද අදහසක් ලබාගත හැකිවේ. පබළු නිෂ්පාදනයට පැමිණීමට පෙර මුල්කාලීනව මල්, ගෙඩි, ඇට වර්ග අමුණා කළ පලඳනාද ක්‍රමයෙන් ඒවා මැටි, වීදුරු, පාෂාණ වර්ග, ඇත්දළ, ලෝහ වර්ග දක්වා වර්ධනය වී ඇති බව පුරාවිද්‍යාඥයන්ගේ මතයයි. එලෙස ලංකාවෙන් හමුවන භාණ්ඩ අතර කානීලියන්, ඇගේට්, අඹතේස්ත, මෙන්ම තිරුවාණා වර්ගද වේ. ඇතැම් අවස්ථාවලදී මෙලෙස හමුව ඇති පාෂාණ මෙරට දක්නට නොලැබෙන ඒවා වන අතර, ඒවා විදේශයන්ගෙන් රැගෙනවිත් ඇත. එමඟින් ජාත්‍යන්තර වෙළෙඳ සබඳතා පිළිබඳවද කරුණු හෙළිකර ගැනීමට හැකියාව ලැබේ. ඇනා දැරණියගල විසින් කරන ලද පර්යේෂණවල පරිදි ඇය පබළු නිර්මාණ තාක්‍ෂණය කොටස් දෙකකට වර්ගීකරණය ඇත. ඉන් පළමුවැන්න කපා පිලිස්සීමට ලක් කළ (ඛ්භබබඪදඨ) හා දෙවැන්න අතින් සකසාගත් (එධභදඤ) ලෙසය. කෙසේ වුවද මන්නාරමෙන් ලැබි මෙම වීදුරු පබළු උදුන සම්පූර්ණයෙන්ම බලා ගැනීමට ඉඩක් නොතිබුණද එහි අවට විසිරි යබොර, වීදුරු කැබැලි සිය ගණනක් දැකගැනීමට ලැබිණි. නිමල් පද්මසිරි මහතා කියන පරිදි ආචාර්ය ශිරාන් දැරණියගල අනුමත කරන්නේ මෙම පබළු උදුන ක්‍රිස්තු වර්ෂ 8ට පමණ කාලයට අයත් ලෙසය. මේ බිම පුරා ඇත්තේ සැබෑවටම පුරාවිද්‍යාඥයකුගේ නොසිඳෙන තෘෂ්ණාවට හේතුවන පුරාවිද්‍යා සාධකය. කාලරක්ත වර්ණ මැටිබඳුන්, ඇතුළු විවිධාකාර මැටිබඳුන්, ඒ අතර අලංකාර කරන ලද මැටිබඳුන්, වර්ණාලේපිත මැටිබඳුන් මැටි නළ කොටස පාත්‍රා කොටස්, කෙමි කොටස, අතීතයේ මුදල් ලෙස භාවිත කළ කොටස්, බි්‍රතාන්‍ය යුගය හා විවිධ විදේශීය උරුව හඳුනාගත හැකි පිඟන් කැබැලි ආදියද ඒ බිමේ මතුව ඇත. ක්‍රිස්තු පූර්ව යුගයේදී දකුණු ආසියාවේ විශාලතම වාණිජ වරාය වූ මාන්තෙයි, මන්නාරම්, මහාතිත්ථ මාතොට ආදී නම්වලින් හැඳින්වූ වරාය අසල පිහිටි වීදුරු පබළු උදුන එදා මෙරටට පමණක් නොව ඇතැම්විට විදේශයන්ටද පබළු යවන්නටද ඇත. අදටද ඒ අසලින් හමුවන උණු වූ වීදුරු කුට්ටිවල නිල්, කොළ, නිල්, කහ, ගොම පැහැ ආදී වර්ණ ඉතිරිව ඇත. එදා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගවේෂක පිරිස මේ උදුන සොයාගත් සැණෙකින් නිමල් පද්මසිරි පැවැසුවේ මේ නියත ලෙසම වීදුරු පබළු තැනූ උදුනක් බවය. ඒ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්‍ෂ ආචාර්ය නිමල් පෙරේරා මහතාද අනුමත කරන්නට විය. එහෙත් තමන්ගේ මතයෙන් පමණක් සෑහීමකට නොවන්නේය. එහෙයින්ම පර්යේෂණ සහකාර කල්ප අසංග මහතා උණුව ගොස් අවශේෂ වූ වීදුරු කොටසක් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයට දී පරීක්‍ෂාවට බඳුන් කරන ලදී. එහිදී ද නිමල් පද්මසිරි කිවූ බස සනාථ විය. වීදුරු පබළු උඳුනක් මහාතිත්ථ වරාය අසල තිබීම එදා මේ බිමේ වූ සශ්‍රීකත්වය උලුප්පා දක්වන්නක් බව ආචාර්ය නිමල් පෙරේරා විසින් කිවූ බව පැවැසුවේ නිමල් පද්මසිරි මහතාය. 'ආචාර්ය නිමල් පෙරේරා මහත්තයා කියන්නෙ මේ වරාය අශ්ව ලාඩමක හැඩයට නිර්මාණය කරපු එකක්. මේකේ පැරැණි දිය අගල් දෙකක්

No comments:

Post a Comment