Sunday, October 12, 2014

බුදු පිළිමය ලොවට හඳුන්වා දුන් පකිස්‌ථානයේ බෞද්ධ ගන්ධාරය


කොළඹ මාලිගාකන්දේ විෙද්‍යාaදය පිරිවෙණෙහි බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනයක්‌ පැවැත්විණි. ගන්ධාරය මෙකල පකිස්‌ථානයට අයත් ලොව ඉතා ප්‍රකට ප්‍රදේශයකි. ඉතා ඈත අතීතයට ගියහොත් මේ රාජ්‍යය සැබවින්ම භාරත දේශයේ ඉතාමත් දියුණු බෞද්ධ ශිෂ්ටාචාරයක්‌ පැවතුණ රාජ්‍යයක්‌ මෙන්ම මධ්‍ය ආසියාවට පවා බුදු දහම හා බෞද්ධ කලාව ව්‍යාප්ත වූ යුගයකි.

ක්‍රි. පූ. 3 වැනි සියවසේදී භාරත දේශයේ රජ වූ අසෝක රජ (ක්‍රි.පූ. 272-232) තුමා නිසා ථෙරවාදී බුදු සමය ඒ රටේ පමණක්‌ නොව ලංකාවේ පවා ස්‌ථාපිත වූයේය. ඉන්පසුව භාරත දේශයේ පුෂ්කලාවන් පුරාපපුරය මුල්කරගෙන පැවති මෙම රාජ්‍යය ක්‍රි.ව. 120 දී පමණ ඉතා දියුණුවට පත්වූවා පමණක්‌ නොව මධ්‍ය ආසියාවට (සිල්ක්‌ රූට්‌) සේද මාවත ඔස්‌සේ බුදු සමය මෙන්ම ගන්ධාර බෞද්ධ කලාව ව්‍යාප්තියට ද හේතු වූයේය. මේ සඳහා මුල් වූයේ කුෂාණ රාජවංශික කණිෂ්ක රජතුමාය. බුදු පිළිමය ප්‍රථම වරට ලොවට හඳුන්වා දීමේ අවස්‌ථාව උදා වූයේ කණිෂ්ක රාජ යුගයේ බිහිවූ ගන්ධාර කලාව ඔස්‌සේ බව ඉතා ප්‍රකට කරුණකි.

කුෂාණ වංශිකයන් වයඹදිග ඉන්දියාවේ සිය බලය තහවුරු කරගන්නා කාලයේදී ගන්ධාර ප්‍රදේශය විවිධ ජාතීන්ගේ ආක්‍රමණවලට සහ බලපෑම්වලට ගොදුරු වී තිබිණි. ක්‍රි. පූ. 522-486 පර්සියාවේ රජ කළ පළමු වැනි ඩේරියස්‌ රජතුමාගේ බෙහිස්‌තුහින් ශිලා ලිපියට අනුව ගන්ධාරය ඔහුගේ 23 වැනි ක්‍ෂත්‍රපය ප්‍රදේශය ලෙසින් ඒ රජුගේ පාලනය යටතේ පැවතුණි. The Old Persian Inscriptions of
Achremenian Emperers - Sukumar Sen
p. 6 (1941) මෞර්ය රාජ්‍යයට යටත් කරගන්නා තුරු (චන්ද්‍රගුප්ත රජු) ගන්ධාරය ඉන්දියාව ආක්‍රමණය කළ මහා ඇලෙක්‌සැන්ඩර් (ක්‍රි.පූ. 327-326) ගන්ධාරය ඔහු යටතේ පැවතිණි.

ක්‍රි. පූ. 3 වැනි සියවසේදී සෙල්ලිපිවල හා ග්‍රන්ථවල සඳහන් ගන්ධාර දේශය වූකලී ඉන්දියාවේ වයඹදිග පළාත්වල සිට ඇµaනිස්‌ථානය දක්‌වා පැවති විශාල ප්‍රදේශයකට ව්‍යවහාර වූ නාමයකි. මේ ප්‍රදේශයේ දියුණු වූ බෞද්ධ කලාව ගන්ධාර කලාව නමින් හඳුන්වනු ලැබේ. ගන්ධාර දේශය තුළ බුද්ධ ධර්මය ප්‍රචාරය කිරීම අසෝක අධිරාජ්‍යාණන්ගේ කාලයෙහි සිටම සිදු කෙරුණු බවට සාක්‍ෂි හමුවී ඇත. මේ ප්‍රදේශය බුදුරජාණන් වහන්සේගේ ජීවිතය හා සම්බන්ධ නොවූවද බෞද්ධ ජාතක කතා රැසකින් බෝධිසත්වයන් මෙහි විසූ බව දැක්‌වෙන හෙයින් බුද්ධාගමේ සහ බෞද්ධ කලාවේ වර්ධනයට එයින් පිටුබලයක්‌ ඇතිවිය. තක්‍ෂිලාව පිහිටියේද ගන්ධාර දේශයේයි.

ගන්ධාර කලාව වූ කලී කුෂාණ රජවරුන්ගේ දැඩි උත්සාහය නිසා හැඩගැසුණු බෞද්ධ කලාවයි. මෙය ක්‍රිස්‌තු වර්ෂ පළමුවැනි සියවසේ සිට පස්‌වන සියවස තෙක්‌ කෙමෙන් වැඩුණු කලාවකි. මේ පිළිබඳ ආචාර්ය ආනන්ද ඩබ්ලිව්. පී. ගුරුගේ මහතා 1962 දී ලියූ දඹදිව බෞද්ධ කලාව නම් ග්‍රන්ථයේ වැඩිදුරටත් මෙසේ සඳහන් කරයි.

මධ්‍ය ආසියාවේ සිට පැමිණ ගන්ධාර ප්‍රදේශයට අධිපතිව සිටි ගී්‍රක්‌ පාලකයන් හා ශක ජාතිකයන් යටත් කොට ගෙන සිය බලය තහවුරු කරගත් කුෂාණ රජවරු නොදැනුවත්වම වාගේ අලුත් ශිෂ්ටාචාරයකට පදනම ලූහ. විදේශිකයන් වශයෙන් ඉන්දියාවට පැමිණි මොව්හු ඉන්දීය සභ්‍යත්වය වැළඳ ගැනීම්වස්‌ බුදු සමය ගත්හ. එසේම ගී්‍රක්‌ හා රෝම සභ්‍යත්ව වලින් කලාවට රුකුල් ලබාගත්හ. කුෂාණ රජවරුන්ගේ මේ ප්‍රතිපත්තිය නිසා බුදු සමය හා ගී්‍රක්‌ - රෝම කලාව කෙතෙක්‌ දුරට සම්බන්ධ වී ද යත් ඉන්දියාවේ හෝ ගී්‍රසියේ හෝ රෝමයේ හෝ දක්‌නට නොලැබෙන වටිනා කලා සම්ප්‍රදායක්‌ ගන්ධාරයෙහි පහළ විය. නැගෙනහිර සහ බටහිර සංස්‌කෘතියක්‌ ගොඩනැංවීමට කුෂාණ රජවරුන් දැක්‌වූ උත්සාහය බෞද්ධ කලා ඉතිහාසයෙහිලා අතිශයින්ම වැදගත් සිද්ධියක්‌ වන්නේය. (දඹදිව බෞද්ධ කලාව ආචාර්ය ආනන්ද ඩබ්. පී. ගුරුගේ පි. 14 (1962)

අසෝක රජවීමට ප්‍රථම එතුමාගේ මුත්තා වූ චන්ද්‍රගුප්ත රජුට පූර්ව කාලයේදී මැසිඩෝනියාවේ රජ වූ මහා ඇලෙක්‌සැන්ඩර්ගේ ආක්‍රමණවලට පසුව (මෞර්ය රාජ යුගයට පසුව) කාලය ගැන විමසා බලනවිට පර්සියන්වරු හා ඉන්දු - ගී්‍රකවරු ද එම ප්‍රදේශ පාලනය කළහ. මීට අමතරව චීනයේ සිට තවත් ගෝත්‍ර හතරක්‌ම වයඹදිග ඉන්දියාව ආක්‍රමණය කළහ. ඔවුන් යූ. එච්වරුන් ලෙස හැඳින්වේ. එම යූ එච්වරුන් අතරේ කුෂාණ නමින් යුත් රාජවංශයක්‌ වයඹදිග ඉන්දියාවේ මෙකල (පකිස්‌ථානයේ) පෙෂවාර් හෙවත් පුරාපපුරය ඔවුන්ගේ පාලන මධ්‍යස්‌ථානය විය. කණිෂ්ක රජතුමා මෙම කුෂාණ රජවරුන් අතරේ ශ්‍රේෂ්ඨතම නරපතියා ලෙසින් සැළකේ.

කණිෂ්ක රජුට පෙර කාඩ්පයිසස්‌, වීම කාඩ්පයිසස්‌ ආදී රජවරුන් සිටි නමුදු විදේශ රටකින් පැමිණි රජකෙනකු ලෙස භාරතයේ ප්‍රථම වරට අධිරාජ්‍යයක්‌ ගොඩනැඟීමට සමත් වූයේ කණිෂ්ක රජතුමාය. අසෝක අධිරාජයාට පසුව බුද්ධාගම විදේශ රටවල ප්‍රචාරයට පත් කිරීමෙහි පුරෝගාමියකු වූ කණිෂ්ක රජතුමාගේ කාලයේදී සුවිශේෂ සිදුවීමක්‌ නිසා පසු කාලයේදී භාරතය පුරා පමණක්‌ නොව විදේශ රටවලද බෞද්ධ කලා ශිල්ප කෙරෙහි බලපෑමක්‌ ඇතිවීමට හේතු වූයේය. එනම් කණිෂ්ක රජතුමාගේ පූර්ණ අනුග්‍රහය යටතේ කුණ්‌ඩල වනයේ පවත්වන ලද මහායානික ධර්ම සංඝායනාවයි. මෙම ධර්ම සංඝායනාවට පසුව "මහා විභාෂ" නමැති ග්‍රන්ථයක්‌ද සම්පාදනය කරන ලදී. කනිෂ්ක රජුගේ කාලය වනවිට (ක්‍රි.ව. 120) වයඹදිග ඉන්දියාවේ දැනට පකිස්‌ථානයට අයත් පුරුෂ පුරයෙහි (පෙෂවාර්) රාජ්‍ය මධ්‍යස්‌ථානය පිහිටුවා ගත් අතර ඒ රාජ්‍යයට නූතන පකිස්‌ථානය බැක්‌ටි්‍රයාව කාෂ්ගාර්, ඛෝටාන්, යාර්ඛොන්ඩ් ආදී ඉන්දියාවෙන් පිටත රාජ්‍ය පවා කුෂාණ රාජ්‍යයට අයත් වූයේය.

කණිෂ්ක රාජ සමයේදී මහායානික බෞද්ධ දර්ශනය ඉතා දියුණුවට පත්වීමේ ආරම්භය ඇතිවිය. මේ නිසාම මෙතෙක්‌ කල් භාරුත්, සාංචි, බුද්ධගයා මුල් කාලයේ අමරාවතී ආදි බෞද්ධ කලාව දියුණු වූ පුදබිම් ආශ්‍රිතව දක්‌නට ලැබුණු මූර්ති කැටයම්වල බුදුරජාණන් වහන්සේ නිරූපණයට යොදා ගන්නා ලද සංකේත වූ බෝධි වෘක්‍ෂය, ධර්ම චක්‍රය, වජ්‍රාසනය ත්‍රිරත්නය හා සිරිපතුල් වෙනුවට බුදු පිළිමය මානව රූපීව නිර්මාණය කෙටියෙන් සඳහන් කරතොත් බුදුරජාණන් වහන්සේගේ රූපයක්‌ ප්‍රථම වරට නිර්මාණය වූයේ කණිෂ්ක රාජ යුගයේදීය. මේ ප්‍රථම බුදුපිළිමය සහිත රූපය කණිෂ්ක රජුගේ රන් කාසියක නිර්මාණය වීම බෞද්ධ කලා සම්ප්‍රදායේ මහා පෙරළියකට ගන්ධාර බෞද්ධ කලාවේ මුල පිරීමක්‌ වූයේය.

කණිෂ්ක රජුගේ රාජ්‍ය කාලයේ ඇරඹුම සාමාන්‍යයෙන් ක්‍රි.ව. 120 ලෙසින් සැලකේ. මේ යුගයේදී මූර්ති කලාව පිළිබඳව වූ මේ මහා විප්ලවය සමස්‌ත භාරතයට පමණක්‌ නොව ඉන් පිටත ප්‍රදේශවලට පවා බලපෑවේය. කණිෂ්ක රාජ සමයේදී භාරතීය බෞද්ධ කලාව මධ්‍යස්‌ථාන දෙකකදී දියුණුවට පත් වූයේය. මේ බව සුප්‍රකට කලා විචාරකයකු වූ ආචාර්ය ආනන්ද කුමාරස්‌වාමි මහතා සඳහන් කරයි. එම මධ්‍යස්‌ථාන දෙක නම් ගන්ධාරය හා මථුරාවය. ගන්ධාරය පිහිටියේ නූතන පකිස්‌ථානයේය. මථුරා බෞද්ධ කලා මධ්‍යස්‌ථානය පිහිටියේ නූතන ඉන්දියාවේ ගංගා - යමුනා ආශ්‍රිත ප්‍රදේශයේය. ඒ ප්‍රදේශය ද කණිෂ්ක රාජධානියට (ගන්ධාර) අයත් වී පැවතුණි.

ගන්ධාර බෞද්ධ කලා සම්ප්‍රදාය පිළිබඳ අවධානය යොමු කරන විට ඒ පිළිබඳ විද්වතුන්ගේ හා කලා විචාරකයන්ගේ මතයක්‌ පවතී. එනම් ගන්ධාර බෞද්ධ කලාව ඉන්දියානු හෘදයෙනුත් (හදවතිනුත්) ගී්‍රක, රෝම හස්‌තයෙනුත් නිර්මාණය වීමය. මථුරා බෞද්ධ කලා සම්ප්‍රදාය තුළ දේශීයත්වයක්‌, ඉන්දියානු බවක්‌ දක්‌නට ලැබිණි.

ගන්ධාර බෞද්ධ කලාව විශේෂයෙන්ම බුදුපිළිම කලාව, විදේශීය ආභාසයකින් නිර්මාණය වූවක්‌ය යන අදහස විමසා බැලිය යුතු කරුණකි.

ගන්ධාරයේ බුදුපිළිම (බුදුරුව) නිර්මාණයට පෙර ආදර්ශයට ගත හැකි බුද්ධ ප්‍රතිමා පුරාණ භාරතයේ කිසිදු ස්‌ථානයක දක්‌නට නොවීය. මේ නිසා කණිෂ්ක රාජ සමයේදී බුදුපිළිම නිර්මාණය සඳහා ආදර්ශයට ගත හැකිව තිබුණේ ගී්‍රක - රෝම දෙවියන්ගේ රූපවල ඇඳුම් පැළඳුම් සහ ශාරීරික ලක්‍ෂණයන්ය. ඒ අනුව ගන්ධාර පිළිමවල සිවුර ගී්‍රක දෙවියකු වූ ඇපොලෝ දෙවියන්ගේ ටෝගාව නමැති ඇඳුම ආකාරයට නිර්මාණය කළේය. එමෙන්ම ගී්‍රක - සූර්ය දෙවියන්ගේ මුර්තිවල දක්‌නට ලැබෙන හිසකෙස්‌ සකසා ඇති ආකාරයට ගන්ධාර පිළිමවල කෙස්‌ ද මූර්තිමත් කළේය. මේ සඳහා කදිම නිදසුනක්‌ පකිස්‌ථානයේ පෙෂවාර් නගරය අසල ඇති හෝර්මන්දාර් නම් ස්‌ථානයෙන් හමුවූ බුදුපිළිමය හඳුන්වාදිය හැකිය. බෞද්ධ සාහිත්‍යයෙහි බුදුරජාණන් වහන්සේ පිළිබඳ සඳහන් වන කරුණු අතරින් මේ පිළිමවල දක්‌නට ලැබෙන්නේ දික්‌වූ කන් සහ ඌර්ණ රෝමය පමණි. මෙසේ මුල් කාලයේදී ගන්ධාර බුදුපිළිමවල මෙම බටහිර ලක්‍ෂණ කල්යත්ම දේශීය ලක්‍ෂණ වැඩිපුර පිළිබිඹු වන්නට පටන් ගත්තේය.

භාරත - ලංකා බෞද්ධ උරුමය සිරිසමන් විෙ-තුංග පි. 32-35 (2006)

බෞද්ධ ගන්ධාරය නමින් ග්‍රන්ථයක්‌ ලියූ ඉෂාන් එච්. නදීන් මහතා ගන්ධාරය ගැන මෙසේ සඳහන් කරයි.

ඉතා දීර්ඝ කාලයක සිට දුර්ලභ ගණයෙහි ශිෂ්ටාචාරයක්‌ සහා සංස්‌කෘතියක්‌ පකිස්‌ථානයට අයත් වී ඇත. ක්‍රි. පූ. තුන්වැනි හා දෙවැනි සහශ්‍රවල පටන්ම ලොව පැවති ශිෂ්ටාචාර පිළිබඳ ඉමහත් ප්‍රසිද්ධියක්‌ ලත් මොහොන්ජෝදාරෝ හරප්පා ශිෂ්ටාචාරය පැවතියේ මෙහිය. එම ශිෂ්ටාචාරය පිරිහීමත් සමගම ප්‍රාදේශීය ශිෂ්ටාචාර බිහිවිය. ඒ අතරින් ගන්ධාර ප්‍රදේශය ආශ්‍රිතව ඉතා ප්‍රබල ශිෂ්ටාචාරයක්‌ ඇතිවිය. ක්‍රිස්‌තු පූර්ව පළමු වන සහශ්‍රකයේ සිට ක්‍රි.ව. 7 වන ශතවර්ෂය තෙක්‌ පකිස්‌ථානයේ ඊසාන දිග ප්‍රදේශයෙහි මෙම ශිෂ්ටාචාරය ව්‍යාප්ත වූයේය.

ගන්ධාර නමැති මෙම ප්‍රදේශයට සාමාන්‍යයෙන් අයත් වූයේ පකිස්‌ථානයේ වයඹදිග ප්‍රදේශය සහ නැගෙනහිර ඇµaගනිස්‌ථානයයි. පුරාණ කාලයේදී තක්‍ෂිලාව ඇතුළුව කාබුල් සහ ඉන්දු - ගංගා මේ නිම්න ආරම්භ ප්‍රදේශයේ සිට වූ මේ පළාත චරණෙ යනුවෙන් හැඳින්විණි. එය ගන්ධාරය යන නාමයෙන් හැඳින්වූයේ කුමන කාලයකදී යෑයි ස්‌ථිරවම දැක්‌වෙන පුරාවිද්‍යාත්මක සාක්‍ෂි නැත. ඇක්‌මේනියානු රාජ්‍යයේ කොටසක්‌ ලෙසින් ගන්ධාරය පැවති බව එහි රජ කළ මහා සයිරස්‌ රජුගේ කාලයේ (ක්‍රි. පූ. 558-28) ඓතිහාසික තොරතුරු වලින් පැහැදිලිවේ.

(Buddhist Gandhara Histor. Art and
Architecture - Ihsan H. Nadien p. 9 (2008)
Lahore - Pakistan)

ගන්ධාර බුදුපිළිම කලාව ලොවට හඳුන්වාදුන් කුෂාණ රාජවංශික කණිෂ්ක රජුගේ රන් කාසියක එක පැත්තක බුඩ්ඩෝ යනුවෙන් ගී්‍රක වචනයද එම කාසියේ අනෙක්‌ පැත්තේ කණිෂ්ක රජුගේ රූපය ද යොදා ඇත. මෙම රන් කාසියෙන් ඇරඹුණු බුදුරජාණන් වහන්සේ මානව රූපීව නිර්මාණය කිරීමේ සම්ප්‍රදාය ඉන්පසුව බෞද්ධ ලෝක ජනතාව අතර ප්‍රචලිත විය. මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුත්තක්‌ නම් එතෙක්‌ පැවති ථෙරවාද සම්ප්‍රදාය මහායාන බෞද්ධ දර්ශනය මත පදනම් වී මධ්‍ය ආසියාව තෙක්‌ ප්‍රචාරය වීමද මෙකල ඇරඹුණි. එහි භාෂා මාධ්‍යය වූයේ සංස්‌කෘත භාෂාවය.

"අසෝක රජතුමාගේ ඉතිරි වැඩ කොටස ඉදිරියට ගෙන යැමේ පමණක්‌ නොව ආසියාව පුරා බුදු දහම පැතිරවීමේ කාර්යයටද කණිෂ්ක රජතුමා උරදුන්නේය. මහායාන බුදු සමය උච්ච ස්‌ථානයකට පත්වූ අතර පාර්සව, අශ්වඝෝෂ, වසුමිත්‍ර සහ තවත් විද්වතුන් ලේඛකයන්ගේ නිර්මාණ ද මෙකල බිහිවිය. පාලි භාෂාව වෙනුවට සංස්‌කෘත භාෂාව උසස්‌ ස්‌ථානයකට නැඟී ඒමේ අවස්‌ථාව ද උදාවූයේ මෙකලය. ගන්ධාර මූර්ති කලාව පෙරට ගමන් කළ අතර බුදුපිළිම පමණක්‌ නොව බෝධිසත්ව පිළිමද නිර්මාණය වන්නට පටන් ගත්තේය. මධ්‍යම හා පෙරදිග ආසියානු රටවලට බෞද්ධ දර්ශනය, බුදුදහම හඳුන්වා දෙන ලද්දේ කණිෂ්ක රාජ සමයේදීය. කණිෂ්ක රජුගේ මේ උත්සාහය හේතුවෙන් ඉන්දියාවේ එකල (භාරත දේශය) සිට මධ්‍ය ආසියාව තෙක්‌ පැතිරුණු කණිෂ්ක රජුගේ රාජධානිය සෑම දෙසකම අඛණ්‌ඩවම ධර්මදූත කටයුතු ද සිදුවූයේය. මේ හේතුව නිසාම මේ යුගයේදී ඒකාබද්ධ වූ ආසියානු බෞද්ධ සංස්‌කෘතියක්‌ බිහිවූයේය.

2500 Years of Buddhism p.c. Bapt p.
200-201 (1956) INDIA

ස්‌වභාවිකත්වයට තැනක්‌ දුන් ගන්ධාර කලාවෙහි අතිශයින්ම වැදගත් ඉතා ප්‍රකට නිර්මාණයක්‌ ලෙසින් සිදුහත් කුමාරයාගේ දුෂ්කර ක්‍රියාව නිරූපිත මූර්තිය හඳුන්වා දිය හැකිය. ගිලුණු ඇසුත්, සමෙන් පිටත නෙරා ගිය ඉලඇට සහ නහරත්, දිරාගිය අත් දෙකත්, මුහුණෙහි ස්‌ථිර අධිෂ්ඨානයත් නිරූපණය කර ඇති මෙම බෝධිසත්ව පිළිමය සැබවින්ම එම ගන්ධාර මූර්ති ශිල්පියාගේ ප්‍රතිභාවය ප්‍රකට කරවන්නකි.

සැබවින්ම පකිස්‌ථානයේ ඇති තක්‍ෂිලා ධර්මරාජික ස්‌ථූපය ජවුලියන් සංඝාරාම මොහෙරා මොදුරා ස්‌ථූපය හා සංඝාරාමය පෙෂවාර් නිම්නයේ සා.ජි.කි. ඩේරි, තක්‌හි වාහි ස්‌වාට්‌ නිම්නයේ බුකාරා සංඝාරාමය, පානර් සංඝාරාමය ආදිය ද එරට ලාහොර් ඇතුළු කෞතුකාගාරවල දැකගැනීමට ලාංකික බෞද්ධ ජනතාවට අවස්‌ථාව සැලසිය යුතුය. මෙම බෞද්ධ පුරාවස්‌තු රැකගැනීම පිළිබඳ පකිස්‌ථාන රජයට බොදු ජනතාවගේ තුතිය පිරිනැමිය යුතුය.

මෙය සිරිසමන් විඡේතුංග ගේ ලිපිය උපුටා දැක්වීමකි.

No comments:

Post a Comment