Sunday, October 12, 2014

ශ්‍රී ලංකාවේ ගල් වැඩ කර්මාන්තය

මිරිස්‌ගල, වංගෙඩිය, ඇඹරුම්ගල, අපේ මුළු තැන්ගෙයි ඇති උපකරණ අතුරින් කිහිපයකි. නාගරික ප්‍රදේශවල පිහිටි නිවෙස්‌වල මෙම උපකරණ දක්‌නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. එහෙත් තවමත් ග්‍රාමීය ප්‍රදේශවල ගෘහනියන් විසින් මෙකී උපකරණයන් තම ඉවුම් පිහුම් කටයුතු සඳහා යොදා ගනිති. කෙසේවුවද මිරිස්‌ ගලෙන්, වංගෙඩියෙන්, ඇඹරුම් ගලෙන් කරන කාර්යයන් සඳහා නවීන තාක්‍ෂණික මෙවලම් භාවිතයට පැමිණීමත් සමග මෙකී උපකරණ මුළුතැන් ගෙයින් ඉවත්ව ගොස්‌ ඇත.

එදා තරුණියක්‌ විවාහ කරදීමේදී එම තරුණියට ඇගේ දෙමව්පියන් විසින් ලබාදෙන දෑවැද්දට මෙම උපකරණය අයත්වූහ. දැනටත් අලුතෙන් ඉදිකරණු ලැබූ නිවසක්‌ ගෙවදීමේදී මෙකී ගෘහ උපකරණයන් රැගෙන යැමට නිවෙස්‌ හිමියන් අමතක නොකරති.

එදා අපේ කාන්තාවන් එකට එක්‌වී සාමූහිකව ගල්වංගෙඩියේ පිටි කෙටූහ. වී කෙටූහ. පිටි කොටා නොයෙකුත් කැවිලි වර්ග වෙනත් කෑම වර්ගද සකස්‌කොට අසල්වැසි නිවෙස්‌වලටද බෙදා දුන්හ. වර්තමානයේ ඇතිවූ නාගරීකරණයත් සමග මේ සියල්ල සමාජයෙන් නැත්තටම නැතිවී ගොසිනි. අද අසල්වැසියකු සමග සුළු අමනාපයක්‌ වූ විටද ඇතැම්හු සීනිගම, ගැටඹරු යන්නේ මිරිස්‌ ඇඹරිම සඳහාය. මේ අනුව මිරිස්‌ගල හොඳට නරකට දෙකටම යොදා ගන්නා බැව් මේ තුළින් පැහැදිලි වන්නේය.

කෙසේ වුවද මිරිස්‌ගලට, වංගෙඩියට, ඇඹුරුම්ගලට ඇත්තේ දිගු ඉතිහාසයකි. නූතන ගල්යුගයේ ආරම්භය. ක්‍රි. ව. 13500 දී යෑයි විශ්වාස කෙරේ. නූතන ගල් යුගයේ දී මිනිසුන් ඇඹරුම්ගල් භාවිතා කොට ඇති බව සඳහන්වේ. මෙයට අමතරව ගල්ආයුධ, ඊතල, ගල්පොරොව, මුවහත් කළ ගල්පිහි, ගල්මැසි ආදිය නොයෙකුත් කටයුතු සඳහා ගල්යුගයේ සිටි මිනිසුන් යොදා ගෙන තිබිණි.

ඉන්දියාවේ පුරාවිද්‍යාඥයින් විසින් නූතන ගල්යුගයට අයත් අවි ආයුධ බොහොමයක්‌ සොයාගෙන තිබේ. ගල්ආයුධ තැනීමට යොදාගත් කම්හලක්‌ මදුරාසියේ බෙලරි දිස්‌ත්‍රික්‌කයේ තිබි මතුකොට ගෙන ඇත්තේය.

එමෙන්ම ලෝකයේ පැරණිතම ශිෂ්ටාචාරයක්‌ වන ඉන්දුනිම්න ශිෂ්ටාචාරයේ නැතහොත් මොහෙන්දජාරෝ හරප්පා යුගයේ මිරිස්‌ගල් වංගෙඩි, හා පිටි අඹරණ යන්ත්‍ර විශේෂයෙන් ගෘහ භාණ්‌ඩ අතර තිබුණේය. පිටි ඇඹුරුණු පසු ගල් ලෑල්ලක්‌ උඩට ඒ පිටි වැටෙන පරිදි සකස්‌කොට තිබී ඇත. තවද තෙල් දමා පහන්වැටි යොදා පත්තු කළ පහන් වර්ගද තිබුණේ එකක්‌ දෙකක්‌ නොවේ. මේවා මැටියෙන් හා ගලින් නිමවූ ඒවාය.

මෙම යුගයේදී ගලින් සෑදූ තීන්ත කුඩු වැනි ගල්කුඩු විශේෂයෙන් පාවිච්චිකොට ඇත්තේය. මේවා ඇතැම්විට මැටි භාජන පින්තාරු කිරීමට ගත් සායම් වර්ග බවටද පැවසේ. මොහෙන්දජාරෝ හි ගල්වඩු කර්මාන්තය බෙහෙවින් පැතිරීගොස්‌ තිබූ කර්මාන්තයකි. මිරිස්‌ගල්, වංගෙඩි හා ආයුධ පමණක්‌ නොව පොඩිරූප ආගමික ලිංග, යෝනි ආදියද ඔවුහු ගලින් නිමකොට ගත්හ. එහෙත් මොහෙන්දජාරෝවෙහි මෙරට අනුරාධපුර යුගයේ පැවති තරම් ගල් කර්මාන්තය දියුණුවී නැතත් ඉතා සැලකිය යුතු ප්‍රමාණයක දියුණුවක්‌ ලබා තිබුණේය.

ආදිතම යුගයේ මිනිසුන් ගල් දෙකක්‌ එකට අතුල්ලා ගින්දර සොයාගත්තා. ඉන්පසු ඔවුන් ගල්වලින් යම් යම් දේවල් නිර්මාණය කිරීමට පෙළඹෙන්න ඇති. මහින්දා ගමනයත් සමග මෙරටට සුව සැට කලාවන්ට අයත් ශිල්පීන් පැමිණ තිබෙනවා. ගල්වඩුවොත් එයින් එක්‌ ශිල්පීන් කොටසක්‌. ඊට පසු තමයි මෙරට පිළිම, දාගැබ් වාරිකර්මාන්ත ගල්තොරණ්‌ ආදී ගලින් කරපු නිර්මාණ බිහිවුණේ.

මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ ගාලුකොටුව සංරක්‍ෂණ ව්‍යාපෘතියේ පුරාවිද්‍යාඥ ගාමිණී දොඩම්වල මහතා ගල්වඩුවන්ගේ අතීතය සිහිපත් කරමින් අප සමග එසේ කීවේය.

ගල්වංගෙඩිය දියුණු නැති යුගයේ අපේ මුතුන්මිත්තන් වී කෙටුවේ ගලක්‌ මත වී අතුරා ගලින් සාදනු ලැබූ උපකරණයක්‌ භාවිත කිරීමෙනි. ඉක්‌බිති ඔවුහු ගලක්‌ මත කුහරයක්‌ සකස්‌කොටගෙන වී ආදී දෑ කෙටීම සඳහා යොදා ගත්හ.

පුරාතනයේ රාජකීය සම්භවයක්‌ තිබූ තැන්වල තමයි ගල්වංගෙඩිය, ඇඹරුම් ගල කුරහන්ගල භාවිතයට ගත්තේ. වෙදහල්වල විහාරස්‌ථානවල මේවා භාවිත කළේ ඊට පසු තමයි. මෙම උපකරණ මුළුතැන් ගෙයි උපකරණ බවට පත්වුණේ. ගාමිණි දොඩම්වල මහතා එසේ පවසන්නේය.

මෙම ලිපියේ මුලදී සඳහන් කළ පරිදි අපේ මුළුතැන් ගෙයි ඇති පොදු උපකරණය මාලුගලයි (කුඩුමිරිස්‌ගල) මෙය සම්බලයට (මාලු සමග කන තුනපහ සංයෝගයට) අවශ්‍ය තුනපහ ඇඹරීමට ගන්නා චාම් ගල් ලෑල්ලක්‌ හා ඇඹරුම් ගලකි. එහෙත් බෙහෙත් ගල්නම් මීට වඩා තරමක්‌ විසිතුරුය. ඖෂධ වර්ග පිළියෙල කිරීමට මෙය යොදා ගනු ලැබේ. සිත්තරුන් විසින් පාට ඇඹරීමටද මෙය භාවිත කරති. මෙම බෙහෙත් ගල් භාවිතයෙන් හා හැඩයෙන් යුරෝපයේ ගල් වංගෙඩියට හා ගල්අතකට සමානය.

වෙනසකට ඇත්තේ මෙරට වංගෙඩියට වඩා පැතලි වීමයි. ගල් අත බොහෝවිට එකම කැටයමකින් යුක්‌ත වන්නේය. හිසේ හැඩහුරුකම් ලැබෙන සේ ගල් අත් කැටයම් කොට ඇත්තේය. වංගෙඩියේ සතර කොනේ නයි පෙණ වෙයි. හඳුන්ගල් මීට තරමක්‌ සමානය. කුරක්‌කන් ගල වනාහී හේන් ගොවිතැනින් ලැබෙන ප්‍රධාන ධාන්‍ය වර්ගයක්‌ වූ කුරක්‌කන් ඇඹරීමට ගන්නා ඇඹරුම් ගලකි. නැතහොත් අත්මෝලකි.

ගල්වංගෙඩි, ඇඹරුම්ගල්, මිරිස්‌ගල් පිළිබඳ අතීතය හාරා අවුස්‌සමින් මෙම ලිපිය ආරම්භ කළේ ගල්වඩු කර්මාන්තයේ නිරත ගල්වඩුවන් පිරිසක්‌ ගැන කතා කරන්නටය.

ඔවුහු නොයෙකුත් දුක්‌ඛ දෝමනස්‌සයන්ට මුහුණ දෙමින් මෙකී කර්මාන්තයේ දැනටත් නිරතව සිටිති. ඒ බද්දේගම, මී වැඩුම ගම්මානයේය. මී මැඩුම ගම්මානය ගල්වඩුවන්ගේ ගම්මානයක්‌ බව සඳහන් කළද එය වරදක්‌ නොවේ. ගිංගඟ කොමලියටත් බද්දේගම නගරයටත් මායිම්ව ගිංගඟ පහළ නිම්නයේ මෙම සුන්දර ගම්මානය පිහිටා ඇත්තේය.

මෙකී ගම්මානයේ සියලුදෙනා නෑදෑයෝය. මීවැඩුම ගම්මානය පුරාණ ගම්මානයකි. ගල්වංගෙඩි, මිරිස්‌ගල්, අමුගල්, කුරක්‌කන්ගල්, නාමපුවරු ආදී ගලින් කරන නිමැවුම් කිරීම මොවුන්ගේ ප්‍රධාන ජීවන මාර්ගයයි. ගම්මානයේ සියලු දෙනාම පාහේ මෙම කර්මාන්තයේ නිරතව සිටිති. මහා ගල්පර්වත සමග හරි හරියට පොර බදිමින් මොවුන් ගලින් විවිධවූ උපකරණ නිපදවති.

ඉකුත් දා අපි මෙම ගම්මානයේ වෙසෙන ගල්වඩුවන්ගේ තොරතුරු සොයා සංචාරයක නිරතවීමු. බැලූ බැලූ අත විශාල ගල් කුට්‌ටිය. සෑම තැනකම වාගේ ගල් වැඩපළවල්ය. තරුණ පිරිසක්‌ විශාල ගල්කුට්‌ටිවලට කුළුගෙඩිවලින් පහර දෙමින් ගල් කුට්‌ටි දෙබෑකරති. තවත් පිරිසක්‌ ගල්වංගෙඩි සාදති. ඇතැම්හු ඉතා සීරුවට කුරක්‌කන් ගල් සකස්‌ කිරීමට ගල් කැබලි තෝරති. දහදිය කඳුළු වගුරවමින් මෙම පිරිස වෙහෙසෙන්නේ තම බඩවියත රැක ගැනීම සඳහාය.

එහෙත් මොවුන්ගෙන් ගලින් කරනු ලැබූ නිර්මාණයන් නම් ඉතා විශ්මිතය, සඳකඩපහණ, ඉසුරුමුණි පෙම් යුවල, සමාධි පිළිමය, තොළුවිල පිළිමය, බුදුරුවගල ප්‍රතිමාව, අවුකන හිටි පිළිමය, ආදී විශ්මිත නිර්මාණයන් කළේ අපේ ඉපැරණි කලා ශිල්පීන්ය. මී මැඩුම ගම්මානයේ ගල්වඩුවන්ද අපේ ඉපැරණි කලා ශිල්පීන්ගෙන් පැවතීගෙන එන පිරිසක්‌ නොවේදැයි කියා මට සිතුණි.

ගල්වඩුවන් ගැන අතිශයෝක්‌තියෙන් පිරුණු ජන කතාමය විස්‌තරයක්‌ යාපහු විස්‌තරයේ සඳහන් වන්නේය. පරාක්‍රමබාහු රජතුමා මේ නුවර ගල්වලින් වැඩ නිමකරන ලෙස වදාළ කල්හි එක්‌ලක්‍ෂ විසිදහසක්‌ ගල්වඩුවන් මූලාචාරීන් සීයක්‌ හා දෙසිය පනහක්‌, හාරදහසක්‌ ගල්ගානා ආචාරින් රැස්‌කරවා ඒ නුවර අදිකාරකම් නිළමේ විසින් පෙලක්‌ ගල්කරු කපවා, පෙලක්‌ ගල් නෙලවා, පෙලක්‌ පේකඩ නෙලවා පෙලක්‌ ස්‌ත්‍රීරූප නෙලව d ආදී වශයෙන් සඳහන් කළ බැව් යාපහු විස්‌තරයේ සඳහන්ව තිබී ඇත.

මේ නුවර ගල්වැඩ විනා සෙසු වැඩක්‌ නැත්තේය. මෙම පාඨය බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ කුරුණෑගල විස්‌තරය හා යාපහු විස්‌තරය පුස්‌කොළ පොතින් ගත් ඡායාපිටපතක සඳහන්ව තිබී ඇත. ඇත්තටම මී මැඩුම ගම්මානය තුළද ගල්වැඩ විනා වෙනත් වැඩක්‌ නැති තරම්ය.

එම්. ඒ. ආරියනන්ද (57) මෙකී ගම්මානයේ වෙසෙන පාරම්පරික ගල්වඩුවෙකි.

මේක අපේ පාරම්පරික කර්මාන්තයක්‌. නොයෙකුත් හැඩතලවලින් යුතු ගල් කුට්‌ටි පලලා අවශ්‍ය විදියට සකස්‌ කරගෙන තමයි මේ කර්මාන්තය කරගෙන යන්නේ. ඒත් මහන්සියේ තරමට ප්‍රථිපලයක්‌ නැත. භාණ්‌ඩ අලෙව් කරගන්න වෙළෙඳ පොළ පහසුකම් ප්‍රමාණවත් නැත. අපේ නිෂ්පාදනවලින් අතර මැදියන් තමයි ලාබ ලබන්නේ. අනික්‌ කාරණය තමයි ගල් සොයා ගැනීමත් දැන් ගැටළුවක්‌ වෙලා. එදිනෙදා ජීවත් වෙන්න තමයි මේ කර්මාන්තය කරගෙන යන්නේ. ආරියනන්ද එසේ පවසන්නේ මෙකී කර්මාන්තය කෙරෙහි රජයේ බලධාරීන්ගේ අවධානය යොමුවී නොමැති බවට චෝදනාවක්‌ද කරමිනි.

සැබවින්ම ගල්වඩු කර්මාන්තය අපේ පාරම්පරික කර්මාන්තයකි. මෙය රැකගත යුතුම කර්මාන්තයකි. චානක මාපලගමද මෙම කර්මාන්තයේ නිරත තරුණයෙකි.

අපේ නිෂ්පාදන සඳහා වෙළෙඳ පොළක්‌ නැත. මෙම ගම්මානයේ පවුල් 70 ක්‌ විතර මේ කර්මාන්තයේ තමයි නිරතවෙලා ඉන්නේ. ගුණරත්න වීරකෝන් ඇමතිතුමා ගල්කඩන්න අක්‌කර හයක වත්තක්‌ ලබාදී තිබෙනවා. පොළොන්නරුව මඩකලපුව, මහියංගනය, ආදී ප්‍රදේශවලට තමයි අපේ නිෂ්පාදන සොයාගෙන යන්නේ. නාගරික ප්‍රදේශවලදී නම් මේ අපේ නිෂ්පාදනවලට ඉල්ලුමක්‌ නැත. ඉදිරියේදී අමුද්‍රව්‍ය සපයා ගැනීමේදීත් ගැටලු රැසකට මුහුණදීමට සිදුවෙනවා. ඇත්තටම මේ සඳහා මැදිහත්වීම බලධාරීන්ගේ වගකීමක්‌. චානක මාපලගම මහතා අප සමග එසේ කීවේය.

කලුගල් සමග පොර බදිමින් මොවුන් මෙම කර්මාන්තයේ නිරතව සිටියද මොවුන්ගේ හිත් කලුගල් තරම් දැඩි නැත.

සැබවින්ම මොවුන් ඉතා සංවේදී පිරිසකි. දැඩි සංයමයකින් යුතුව මොවුන් මෙම කර්මාන්තයේ යෙදී සිටිති. භාණ්‌ඩ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය කටු මිටි, ආදී මෙවලම් සකස්‌ කර ගන්නේ මේ අය විසිනි. උදලු අලවංගු ආදී උපකරණද මේ සඳහා අවශ්‍ය වේ. එහෙත් මෙම පිරිසට මෙම කර්මාන්තය කරගෙන යැම සඳහා කිසිදු අනුග්‍රහයක්‌ නොලැබීම කනගාටුවකට කරුණකි.

හැඩිදෙමළ කන්ද විහාරස්‌ථානයේ සාන්චි තොරණ, කච්චුවත්ත විහාරස්‌ථානයේ ගල් උළුවහු ආදී දෑ නිර්මාණය කළේ චානක මාපලගම තරුණයාගේ සීයාවන එම්. ඒ ඕවිනිස්‌ අප්පුහාමි මහතාය. අද ඔහු ජීවතුන් අතර නැත. මොහු කලාභූෂණ සම්මානයෙන්ද පිදුම් ලැබූ අයෙකි.

මීමැඩුම ගම්මානයේ නමද මෙහි වෙසෙන ජනතාව තරම්ම සුන්දරය.

ගිංගගෙන් මීමෙක්‌ එගොඩවෙලා මේ ගමට ඇවිත් තියෙනවා. ඊට පස්‌සේ මේ ගම මීමා වැඩුම වෙලා තියෙනවා. පසුව මීමැඩුම විදියට නම් පටබැදීලා තියෙනවා. ගල්වඩු කර්මාන්තය තමයි අතීතයේ සිට මේ ගමේ ජනතාවගේ ප්‍රධාන ජීවන මාර්ගය.

බද්දේගම උපනන්දනී සිල්මාතාව මෙකී ගම්මානය ගැන තවත් තොරතුරක්‌ හෙළිකරමින් අප සමග එසේ පැවසූහ.

ඇත්තටම මේ ගම්මානයේ ජීවත් වන්නේ සිත හික්‌මවා ගනිමින් කලාත්මක දෙයක්‌ නිර්මාණය කරන නිර්මාණ ශිල්පීන් පිරිසක්‌, ගල්වංගෙඩියට, මිරිස්‌ගලට ඇඹරුම්ගලට දැන් මුළුතැන්ගෙයි තැනක්‌ නැත නූතන මෙවලම් අපේ නිවෙස්‌වලට පැමිණීම නිසා මෙම උපකරණ අපේ සංස්‌කෘතිය සමග බද්ධවෙලා තියෙන්නේ. මේ අයගේ ගැටළුවලට දකුණු පළාත් සභාව මැදිහත්කරගෙන විසඳුම් ලබාදීමට මා බලාපොරොත්තු වෙනවා.

දකුණු පළාත් සභා මන්ත්‍රී බද්දේගම සමිත හිමියන්ට මෙම ගම මෙම කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලු ගැන පැවසූ අවස්‌ථාවේ උන්වහන්සේ ලබාදුන්නේ එවැනි පිළිතුරකි.

ගල්වංගෙඩිය, ඇඹුරුම්ගල, කුරහන්ගල අපෙන් ඈත්වීගෙන යන භාණ්‌ඩයන්ය. මේවා ආරක්‍ෂා කර ගනිමින් මේ වෙනුවෙන් කැපවෙන මේ කර්මාන්තකරුවන්ට අවශ්‍ය පහසුකම් ලබාදීම බලධාරීන්ගේ වගකීමකි.

No comments:

Post a Comment