නාලන්ද ගෙඩිගේ - Nalanda Gedige [Image House]
ශ්‍රී
ලංකාවේ හරි මැද කොහේද දන්නවාද ? ශ්‍රී ලංකාවේ හරි මැද යැයි විශ්වාස
කරන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ නාලන්ද ප්‍රදේශයේ පිහිටා තිබෙන නාලන්ද
ගෙඩිගෙයයි. අද e- අටුවාවේ අවධානය යොමුවෙන්නේ සුවිශේෂී ගෘහ නිර්මාණ
සම්ප්‍රදායකටද උරුමකම් කියන මෙම නාලන්ද ගෙඩිගෙය පිළිබඳවයි.
නාලන්ද ගෙඩිගෙය නැරඹීමට යන මාර්ගය පිළිබඳ මුලින්ම සඳහන් කළහොත් මහනුවර යාපනය ප්‍රධාන මාර්ගයේ මාතලේ සිට දඹුල්ලට යාමේදී කිලෝ මීටර 48 කණුව ආසන්නයෙන් දකුණු දෙසට තිබෙන මාර්ගයේ කිලෝ මීටර 1.2 පමණ ගමන් කිරීමෙන් පසුව නාලන්ද ගෙඩිගෙයට ළඟා විය හැකියි.
මේ පුරාවිද්‍යා භූමියට පිවිසුණු විට මුලින්ම හමුවන්නේ තැන් තැන්වල විසිරුණු ගල් කැටයම් සහිත ගල් කැබලි මෙන්ම බිත්ති සඳහා භාවිත කළ ගල් කැබලි රාශියක්. ඒවා එක ස්ථානයකට ගොඩ ගසා ඇති අතරම කැටයම් සහිත ගල් කැටයම් මෙන්ම කුළුණු හිස් නාලන්ද ගෙඩිගෙයට යන මාර්ගය දෙපස තබා තිබේ.
මාර්ගය දිගේ ගමන් කළ පසු බෝවතැන්න ජලාශයෙන් වටවී ඇති උස් බිමක පිහිටා තිබෙන නාලන්ද ගෙඩිගෙය මෙන්ම වේදිකාවක් මත ඉදිකරපු ස්ථූපයක් සහ බෝධි වෘක්ෂයකුත් මේ ස්ථාන 3 වට කරමින් ඉදි කරලා තිබෙන ගඩොල් ප්‍රාකාරයත් දැකගත හැකියි.
නාලන්ද ගෙඩිගේ ඉතිහාසය ඒ සමඟ බැඳුණු අනෙක් අංගත් සමඟ කතා කරමු.
ශිලාමය නිර්මාණයක් වෙන නාලන්ද ගෙඩිගෙය සම්පූර්ණයෙන්ම කළු ගල් භාවිත කොට නිමවා නිමවී ඇති අතර ඉන්දියාවේ ක්‍රි.පූ.6 වන සියවසේ සිට 9 වන සියවස දක්වා පැවති පල්ලව අධිරාජ්‍යය සමයේ තිබුණු පල්ලව ගෘහ නිර්මාණ ශිල්පයේ දියුණුතම අවදිය ලෙස සැලකෙන නරසිංහවර්මන් හෙවත් මාමල්ල ශෛලිය ගෙඩිගේ නිර්මාණයට යොදා ගෙන තිබේ.
පාලර් නදී මුවදොර පිහිටි මහාබලිපුරම්හි කඳුගැටයක තිබෙන මාමල්ල ශෛලියේ නිර්මාණවල සම්පූර්ණ කළු ගලින් නිමවා තිබීමත් වහලය ශිඛරයක් ආකාරයෙන් සකස් කොට තිබීමත් විශේෂ ලක්ෂණයි. එමෙන්ම විවිධ දෙවි දේවතාවුන්ගේ මෙන්ම සැරසිලිවලින් ගලින් කළ වහල ශිඛරය හැඩගැන්වීම පල්ලව ගෘහ නිර්මාණයේ අනන්‍යතාවයන්ය.
පල්ලව ගෘහ නිර්මාණ ශිල්පයේ හින්දු කෝවිලක ස්වරූපයෙන්ම නාලන්ද ගෙඩිගේ නිර්මාණය කර ඇති අතරම ඉදිකිරීම් කටයුතුවලදී ථේරවාද මෙන්ම මහායාන ඇදහිලිත් ඒ වගේම පෙර දැක්වූ පරිදි හින්දු ඇදහිලිත් මිශ්‍ර කර තිබේ. එලෙස පල්ලව ශෛලිය යටතේ ඉදිකළ වර්තමානය වනවිට ලංකාවේ ඉතිරිව තිබෙන එකම බුද්ධ ප්‍රතිමා මන්දිරය වන්නේ නාලන්ද ගෙඩිගෙයයි.
මේ නිර්මාණයේ කාල නිර්ණය සඳහා සාධක කීපයක් උපයෝගී කොටගෙන ඇති අතර ඒවා මෙලෙස දැක්විය හැකියි. ශ්‍රී ලංකාවේ නිර්මාණයන්ට පල්ලව ආභාෂය ලැබෙන්නේ ක්‍රි.ව 691 න් පසුවයි. ඒ ඒ වන විට ලංකාව පාලනය කළ හත්ථදාඨ රජු පරදා ලාංකික කුමරෙක් වුණු මානවම්ම කුමරුට රාජ්‍යය ලබාදීමට II නරසිංහවර්මන් රජු දායක වීමත් සමඟයි.
ඉහත දක්වපු කරුණ මෙන්ම නාලන්ද ගෙඩිගේ කාල නිර්ණයට ඒ භූමියෙන් හමුවුණු ටැම් ලිපියකුත් පාදක වී ඇති අතර මේ වන විට නාලන්ද ගෙඩිගේ පුරාවිද්‍යා භූමියේ පිහිටි කෞතුකාගාරය එය තැන්පත්ව ඇත.
එහි දක්වන්නේ විෂමාචාර ලෙස හැසිරෙන විහාර කාර්මිකයන් විහාර භූමියෙන් නෙරපිය යුතු බවත් මිනීමරුවන්, සොරුන් විහාර භූමියට වැද්ද නොගත යුතු බවත් විහාරයේ සියලු කටයුතු සංඝ සම්මුතියෙන් කළ යුතු බවත්ය. අක්ෂර විකාශනය අනුව මේ ලිපිය ක්‍රි.ව. 9 - 10 සියවස්වලට අයත් බව නිගමනය කර ඇති අතර මෙම කරුණු පාදක කොටගෙන නාලන්ද ගෙඩිගෙය ක්‍රි.ව. 8 - 10 අතර කාලයේදී නිමවන්නට ඇතැයි නිර්ණය කර ඇත.
ඉහත දැක්වූ ටැම් ලිපියෙන් මෙන්ම භූමියේ විසිරී පවතින ගල් කැබලිවලින්ද මෙහි විහාර සංකීර්ණයක් පිහිටා තිබූ බවත් එය මනා සංවිධානාත්මක බවකින් යුක්ත වූ බවත් අනුමාන කළ හැක.
මේ හැරෙන්නට නාලන්ද ගෙඩිගෙයට ඊටත් වඩා පැරණි ඉතිහාසයක් ඇති බවටද මත දක්වන අතර රාවණ රජ සමය දක්වා එය විහිදෙන බව කියවේ. රාවණා රජුගේ පුත් ඉන්ද්‍රජිත් තමන්ගේ යාග හෝම කටයුතු සඳහා මේ ස්ථානය භාවිත කළ බවත් මේ ස්ථානයේ විශ්ව ශක්තියක් ගැබ්ව ඇති බවත් කියවේ.
මේ ස්ථානයේ ප්‍රධාන ඉදිකිරීම වෙන නාලන්ද ගෙඩිගේ පිළිබඳව ප්‍රධාන අංග 3 ක් යටතේ කරුණු දැක්විය හැකි අතර ඒවා නම්
- ඉදිරිපස පිවිසුම
- මණ්ඩපය
- ගර්භ ගෘහය
පඩිපෙළ නැගීමෙන් පසුව හමුවන ආලින්දය වැනි කොටසින් මණ්ඩප කොටසට පිවිසීමේදී ගල් උළුවස්සක් ඇති අතර එය පාදමට සවිවන ස්ථාන දෙපස ඇත් රූ දෙකක්ද දැකගත හැකියි. ගල් උළුවස්සේ හරි මැදට වන්නේ හින්දු ආගමේ වන්දනාවට ලක්වෙන ගජ ලක්ෂමී දෙවඟනගේ කැටයමක් දැකිය හැක.
මණ්ඩප කොටසට පිවිසුණු පසු දෙපස එක් පේළියකට ගල් කුළුණු 4 බැගින් වූ ගල් කුළුණු 8 ක් ඇති අතර ඒ ගල් කුළුණු සියල්ලේම හිස කොටසේ සතර පැත්තේම එක හා සමානවම මුහුණක් වැනි කැටයමක් ඇති අතර ගල් කුළුණුවල පහළ කොටස්වලද එක හා සමානවම ගල් කැටයම් කර තිබේ.
මේ හැරෙන්නට ගර්භ ගෘහය තුළ විශේෂ ප්‍රතිමා දෙකක් දැකගත හැකි අතර ඒවා නම් ගර්භ ගෘහයට පිවිසෙන ප්‍රධාන දොරටුව ආසන්නයට වන්නට ඉදිකර ඇති ගණ දෙවියන්ගේ පිළිමය හා අවලෝකිතේශ්වර බෝධිසත්වයන්ගේ ප්‍රතිමාවයි.
නාලන්ද ගෙඩිගෙය බිත්ති පිටපැත්තෙන් නිරීක්ෂණය කිරීමේදී ඒ බිත්තිවලද කැටයම් සහිත ගල් දැකගත හැකි අතරම හින්දු කෝවිල්වල දැක්වෙන කාම සූත්‍රයේ විවිධාකාර කැටයම් අතුරින් මෛථූන සේවනයේ යෙදෙන ආකාරය දැක්වෙන කැටයමක්ද දැකගත හැකිය. එසේම ජලය මණ්ඩපය තුළට එක්වන ජලය බැසයාමට සකස් කළ කාණු කටවල්ද මෙහිදී දැකගත හැකිය.
මේ හැරෙන්නට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් පිහිටුවා ඇති කෞතුකාගාරයක් මෙහි ඇති අතර මේ ස්ථානයෙන් හමුවුණු විවිධාකාරයේ ගල් කැටයම් මෙන්ම නාලන්ද ගෙඩිගේ ටැම් ලිපියද එහි තැන්පත් කර ඇත.
නාලන්ද ගෙඩිගේ මෑත කාලීන ඉතිහාසය සොයා බැලීමේදී ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා කටයුතු සඳහා වෙනම දෙපාර්තමේන්තුවක් පිහිටවූ කාලයේදීම පුරාවිද්‍යා කොමසාරිස් H.C.P. බෙල් මහතාගේ අවධානය මෙයට යොමු වූ අතර ඒ යටතේ 1893 දී රජයේ පොදු වැඩ දෙපාර්තමේන්තුවෙන් පස්වලින් යටව තිබුණු ගෙඩිගේ දකුණු පස කොටස් රාශියක් පාදා ගන්නා ලදී. 1911 දී බෙල් මහතා මෙහි පස්වලින් යටව තිබූ සියලු කොටස් පාදා ගත් අතර තහවුරු කිරීමකට උපයෝගී කරගත හැකි අන්දමින් එම කොටස් එතුමාගේ මග පෙන්වීමෙන් තැන්පත් කෙරුණි.
බෙල් මහතා විශ්‍රාම යාමත් සමඟ නැවතත් නාලන්ද ගෙඩිගේ පිළිබඳ අවධානය යොමු නොවුණු අතර 1927-28 කාලවලදී ගෙඩිගෙයි වේදිකාව මත පැතිර තිබුණු නුග මුල් ඉවත් කිරීමක් වුණු අතර එහිදී වේදිකාවේ කොටසක් පවා ගලවා ඉවත් කරන්නට සිදුවුණි. ඊට පසුවද මෙම ගොඩනැගිල්ලේ ගස් ඉවත් කිරීමක් හැරෙන්නට වෙනත් ප්‍රතිසංස්කරණ කටයුත්තක් සිදු නොවුණි. සෙනරත් පරණවිතාන සමයේදී එනම් 1953 දී ගෙඩිගෙයි මළුවේ පනා බැමි මතු කරගත් අතර පෙර දැක්වූ පරිදි ස්ථූපය ප්‍රතිසංස්කරණය කෙරුණි.
පසුව ගෙඩිගේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් වූයේ 1970 දශකයේ කළ කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරයෙන් ගෙඩිගේ තිබුණු ප්‍රදේශයට බෝවතැන්න ජලාශයට යටවීමට නියමිත වූ හෙයිනි. ඒ යටතේ ගෙඩිගෙය රැක ගැනීමට මිසරයේ අස්වාන් වේල්ල ඉදිකිරීමේදී අබු සිම්බල් දෙවොල ගලවා ඉවත් කර වෙනත් ස්ථානයක ඉදිකළ පරිද්දෙන් සියලුම කොටස්වල සංකේත යොදා ගෙඩිගෙය ගලවා පුරාවිද්‍යා කාර්යාලයේ තැන්පත් කෙරුණි.
එනිසා ගෙඩිගේ පාදමද කැණීමට පුරාවිද්‍යාඥයින් සමත් වූ අතර චතුරශ්‍රාකාර ශිලාමය පදනමක් පාදා ගැනීමටද හැකිවිණි.
ගෙඩිගේ නැවත සැකසීම ඒ ප්‍රදේශයේ කඳු මුදුනක කිරීමට මුලින් යෝජනා වුවද පසුව නැවතත් එය මුලින් පිහිටි ස්ථානයේම ඉදිකිරීමට යෝජනා වූ නිසා 1977 දී එවකට සංස්කෘතික කටයුතු අමාත්‍ය E.L.B. හුරුල්ලේ මැතිතුමාගේ තීරණය මත පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යනාංශයේ අංශාධිපති මහාචාර්ය P.L. ප්‍රේමතිලක මහතාගේ අධීක්ෂණයෙන් එය සිදුකෙරුණි.
මුල් කාලීන සංරක්ෂණයන්හිදී සිදුවූ වැරදි නිවැරදි කරමින් ගර්භ ගෘහයේ වහළ සම්පූර්ණ කරමින් මේ සංරක්ෂණය අවසන් වුණු අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් මේ ආකාරයේ කාර්යයක් කළ ප්‍රථම අවස්ථාව මෙය වූ නමුත් මැනවින් පෙර පරිදිම නාලන්ද ගෙඩිගෙය තහවුරු කිරීමට පුරාවිද්‍යාඥයෝ සමත්වූහ.
No comments:
Post a Comment