Sunday, October 12, 2014

කෘෂිකර්මයේ ඓතිහාසික පසුබිම


මීට වසර 13,000 කට පමණ පෙර පෘථිවියේ වූ ග්ලැසියර් ක්‍රමයෙන් දියවී යැමත් සමඟ පෘථිවිය මත උණුසුම ඇති විය. මහපොළොව තුළ වනාන්තර සහ ගස්‌ කොළන් ප්‍රාණවත් විය. ක්‍රමයෙන් උතුරේ අයිස්‌ දිය වන්නට වූ අතර සතුන් උණුසුම සොයා ඒ දෙසට ගමන් කළේය. මෙලෙස මිහිතලය ආරම්භ වීමත් සමඟම ආදීනව මිනිසා කෘෂිකර්මය ආරම්භ කිරීම මීට වසර 10,000 කට 9,000 කට පෙර සිදු කරන ලදී (කංකානම්ගේ, 2003, පි. 34)

ප්‍රාග් ඓතිහාසික යුගයේ වාසය කළ මුල්ම මිනිසුන් ශිලා යුගයට අයත් වූහ. මෙහි වූ ආදීම මිනිසා වනගතව ජීවත්විය. අලි, කොටි, වලසුන්, ඌරන් මෙන් ඔවුහු ද වනචාරී ජීවිතයක්‌ ගෙන ගියෝය. වන සතුන් මෙන් සතුන් මරාගෙන අමුවෙන් දඩ මස්‌ කෑවෝය. කොළ, අල, මුල් හා ගෙඩි ජාති ද ආහාර කොට ගත්හ. වනසතුන් මෙන්ම ආදී මිනිසා ද වාසස්‌ථාන ලෙස ගල් ගුහා හා ගස්‌ බෙන් යොදාගත් අතර ඇඳුම් ලෙස ගස්‌වල පට්‌ටා, කැලෑ කොළ යොදාගෙන ඇත. ඒ මිනිසුන් වැද්දෝ ලෙස හැඳින් වූ අතර, අවුරුදු දහස්‌ ගණනක්‌ ඉකුත්වීමෙන් පසු මෙම දඩයම් යුගයෙන් මිදී ආ මිනිසා එඩේර යුගයට පා තැබූහ. එහිදී එළු, බැටළු, ගව වැනි සතුන් ඇති කර එම සතුන් රැගෙන ආහාර සොයා තැනින් තැන ඇවිදිමින් ජීවත් වීමට පුරුදු වූහ. මේ මිනිස්‌සු සතුන්ගේ කිරි හා මස්‌ අනුභව කළ අතර සතුන්ගෙන් ලබාගත් ඇඳුම් "හම්" ඇඳුම් හා කූඩාරම් ද පිළියෙල කර ගත්හ. ඇති කරන සතුන්ට තණ කැවීමට හා ජලය ලබා ගැනීමට ඇති පහසුව තකා ගංගා ආශ්‍රිතව මොවුන් පදිංචි විය. මෙලෙස ගංගා ආශ්‍රිතව පදිංචි වී මොහු අපර ශිලා යුගයේදී ගංගා නිම්නවල තිරිඟු, ඉරිඟු හා වී වැනි ධාන්‍ය වර්ග වගා කළහ. මෙහි වූ මිනිසුන් ගොවි යුගයට අයත් වූවන් ලෙස හැඳින්වේ. මෙම යුගය ක්‍රි. පූ. 10,000 දී පමණ ආරම්භ විය. (ඇඳගම, 1993, පි. 14) මෙහිදී ආහාර සෙවීම සඳහා තැනින් තැනට ගමන් කිරීම අවසන් වූ අතර, ඒ වෙනුවට ආහාර නිෂ්පාදනය කිරීමේ කලාව ආරම්භ විය. ස්‌විට්‌සර්ලන්තය, ඉතාලිය, ප්‍රංශය, රුසියාව, ස්‌කොට්‌ලන්තය සහ උතුරු ඇමරිකාව වැනි රටවලින් මේ අවධියට අයත් ජලාශ්‍රිත ජනාවාස පුරාවිද්‍යාඥයන් සොයාගෙන ඇත. මෙකල වූ මිනිසුන් සාරවත් ගංගා නිම්නවල පදිංචි වූ අතර ක්‍රමයෙන් ගොවිතැන් කිරීමට ද පටන් ගත්තේය. මිසරය, චීනය ආදී රටවල ගංගා නිම්නවල ජීවත් වූවෝ ක්‍රිස්‌තු වර්ෂය පටන් ගන්නට අවුරුදු 5000 ටත් පමණ පෙර ධාන්‍ය ගොවිතැන් කිරීමට දැන සිටියහ. මෙම අපර ශිලා යුගයේදී ගොවීහු කෘෂිකාර්මික කටයුතුවලට සහාය සඳහා වෘෂභයා යොදා ගත් අතර එළ හරකුන්ගෙන් සහ එළුවන්ගෙන් ඔවුහු කිරි ලබා ගත්හ. මෙකල ගොවීන් කුඹුරු කෙටීම සඳහා ලෝකඩවලින් සකස්‌ කරන ලද ආයුද යොදා ගෙන ඇත. මෙම ගොවි යුගයේ වූ මිනිසුන් ගංගා ආශ්‍රිතව වූ කුඹුරුවලට නුදුරින් ස්‌ථිර වාසස්‌ථාන ඉදිකර පදිංචි විය. ඉන්පසු කෘෂිකර්මයේ සිදු වූ ක්‍රමික වර්ධනය පහත ආකාරයට හඳුනාගත හැක.

ඊජිප්තුවරුන්ගේ (මිසර) ශිෂ්ටාචාරය

මෙය දැනට අවුරුදු හත්දහසක්‌ පමණ පැරැණි උසස්‌ ශිෂ්ටාචාරයකි. එය බිහි වූයේ නයිල් ගඟේ (පහත් තැනිතලා) දෙපස ආශ්‍රිතවය. පැරැණි ග්‍රීක ඉතිහාසඥයකු වූ හොරඩෝටස්‌ "නයිල් ගඟේ දායාදය" වශයෙන් ඊජිප්තුව හැඳින්වුයේ ය. (ඇඳගම 1999 පී. 18) නයිල් මිටියාවත කාණුවක්‌ මෙන් හෑරුණු ප්‍රදේශයකි. ගංගා ජලය මේ කාණුව ඔස්‌සේ ගලා බසී. ග්‍රීස්‌ම සෘතුවේදී ඇබිසීනියාවේ වැස්‌ස තදින් ඇති වූ කල්හි නයිල් ගඟේ පහළ කොටස්‌ උතුරා යැමෙන් ගඟ දෙපස සැතපුම් කිහිපයක්‌ ජලයෙන් යට විය. එම ජල ගැලීම හේතුවෙන් අසල කුඹුරුවලට සාරවත් පසක්‌ ලැබිණි. මෙය අවුරුදු පතාම සිදුවීම නිසා කුඹුරුවල සාරවත් බව වැඩි විය. ඉතා සරුබිමක්‌ වූ එහි අවුරුද්දකට තෙවරක්‌ ම ගොවිතැන් කරනු ලැබේ. නයිල් මිටියාවතේ වැසි කාලය ගෙවී යත්ම ක්‍රමයෙන් ගංගාවේ ජලය අඩු වූ බැවින් ඒ කාලයේදී ගොවිතැන් කටයුතු සඳහා ජලය රැස්‌කර තබා ගැනීම සඳහා ඔවුහු වැව්, අමුණු, ඇළවේලී ආදී ජල සම්පාදන ක්‍රම තනා ගත්හ. වැව්වලින් ජලය ඉහළට ඇද ගැනීම සඳහා ශැඩුෆ් නමැති උපකරණය නිපදවාගත් ඔවුහු පහසුවෙන් සහ සරල ලෙස කෘෂිකාර්මික කටයුතු කිරීම සඳහා නව උපකරණ සහ මෙවලම් රාශියක්‌ භාවිත කිරීමට පුරුදු වූහ. දැවයෙන් සෑදූ නඟුල, දෑකැත්ත සහ වෙනත් උපකරණ භාවිත කිරිමත් කෘෂිකාර්මික කටයුතු සඳහා ගවයන් යොදා ගැනීමත් උදාහරණ ලෙස දැක්‌විය හැකිය. ඔවුන් සිදුකළ වගාවන් ලෙස බාර්ලි, ඉරිඟු. මෙනේරි. මුං, බෝංචි, තිරිඟු, හණ සහ පලතුරු හඳුන්වා දිය හැක. කල්ගත වෙත්ම ඔවුහු කොමඩු. ලෙමන්, රටඉඳි සහ දිවුල් වැනි පලතුරු වර්ග ද වගා කළහ. මොවුන් එළු, බැටළු, ගව, ඌරු බලු ආදී සතුන් ද ඇති කරන ලදී. ගොවීන්ට මොවුන්ගේ මස්‌ හා කිරිද. බැටලු ලොම් ද ලැබිණි. මෙලෙස ක්‍රම ක්‍රමයෙන් අධිරාජ්‍යයක්‌ ගොඩනගාගත් මිසරවාසීහු ඉතා ශක්‌තිමත් අලංකාර ගොඩනැඟිලි තනා ගත්හ. උදාහරණ ලෙස "පිරමීඩිස්‌" නම් චතුරස්‍රාකාර ස්‌ථුප විශේෂය දැක්‌විය හැක. මෙහි වූ ස්‌ථූප පාරාවෝ රජවරුන්ගේ සොහොන් කොත් ලෙස හැඳින්වේ. මිසර වාසීන් "ගණිත" "මිණිත" හා නක්‍ෂාත්‍රයෙහි නිපුණ වූ අතර ලිවීමට හා කියවීමට ද දක්‍ෂයන් විය. මේ ආකාරයට මිසරවාසීන් ක්‍රමිකව දියුණු වීම සඳහා මූලිකව ම නයිල් ගඟේ සභ්‍යත්වයෙන් බිහි වූ කෘෂිකර්මාන්තය පදනම් කරගෙන ඇත.

බැබිලෝනියන් ශිෂ්ටාචාරය

මෙම ශිෂ්ටාචාරය අවුරුදු දොළොස්‌දහසක්‌ පමණ පැරැණිය. ඒ සභ්‍යත්වය පැන නැඟුණේ "යුප්‍රටීස්‌ - ටයිග්‍රීස්‌" නමැති ගංගා දෙකින් මැදි වූ "මෙසපොතේමියාව නම් ප්‍රදේශයේ ය. මෙම ප්‍රදේශය ෂිනාර්ගේ දිවයින සහ සරුසාර චJද්‍රවංකය ආදී නම්වලින් ද හඳුන්වනු ලබයි. ක්‍රි. පූ. 3500 දී පමණ ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක උපත සිදු වූයේ මෙම ප්‍රදේශය ආශ්‍රිතවය. (ඇඳගම, 1999 පි. 28) මේ නදීන් අවුරුදු පතා පිටාර ගැලීම නිසා මහා පරිමාණයේ ගොවිතැන් කටයුතුවලට සුදුසු වන අන්දමට සරුසාර පස්‌ තට්‌ටුවක්‌ ගංගා මිටියාවතේ තැන්පත් විය. මෙම ගංගාශ්‍රිත වූ මුල්ම සභ්‍යත්වය "සුමේරියන්වරු" සතු විය. වාරිමාර්ග කර්මාන්තය හැඩගසා දක්‍ෂ ගොවියෝ ඔවුහු සිය දේශයේ වූ වගුරු බිම්වල ජලය බැස යැමට සලස්‌වා ඉඩම් සංවර්ධනය කොට ගොවිතැන් කටයුතු සඳහා යොදා ගත්හ. තිරිඟු සහ බාර්ලි වගා කළ ඔවුහු සිය ගොවිතැන් කටයුතුවලට උපකාර කරවා ගැනීම සඳහා ගව වර්ගයේ සතුන්ද බර අදින ගවයා සහ බූරුවා ද ඇති කළහ. මොවුහු පහසුවෙන් ඉඩම් මඩ කිරීම සඳහා යකඩ නඟුල නිර්මාණය කළහ.

යුප්‍රටීස්‌ නදී ඉවුර ජනාවාස කොටගත් ඇමොරයිට්‌ නමින් හැඳින්වුණු තවත් සෙට්‌ටික්‌ ගෝත්‍රයක්‌ කි. පූ. 2000 දී පමණ සුමේරියන්වරු පරාජය කොට මෙසපොතේමියාවේ ප්‍රබලව නැඟී සිටියහ. ඇමොරයිට්‌වරුන් ලෙස හඳුන්වන බැබිලෝනියන්වරු ගංගාශ්‍රිත සභ්‍යත්වය යොදා ගෙන කෘෂිකාර්මික කටයුතු පවත්වා ගෙන ගියහ. මෙකල වූ හමුරාබ් රජු විසින් එළවළු ඇතුළු වෙනත් ආහාර වර්ග වගා කිරීම දියුණු කිරීම සඳහා ගොවි ජනතාවට ආධාර කිරීම සඳහා විශාල ඇළ මාර්ගයක්‌ ඉදිකොට වාරිමාර්ග කටයුතු වැඩිදියුණු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග සලසන ලදී. බැබිලෝනියන්වරු රට ඉඳි, තිරිඟු වගා කළ අතර එළු, බැටළු වැනි සතුන් විශාල රංචු වශයෙන් ඇති කළහ. පරිවහන කටයුතු සඳහා කර අඹන ලද ගවයන් ඔටුවන් යොදා ගත්හ. මේ ආකාරයට බැබිලෝනියානියන් ශිෂ්ටාචාරය ආශ්‍රිතව කෘෂිකර්මය වර්ධනය වූ අයුරු හඳුනාගත හැක.

ඉන්දුනිම්න ශිෂ්ටාචාරය

ඉන්දුනිම්න ශිෂ්ටාචාරයේ සභ්‍යත්වය මිසර හා මෙසපොතේමියානු සභ්‍යත්වයට සමකාලීන හෝ ඊටත් වඩා පැරැණි එකක්‌ බව ඉතිහාසඥයන්ගේ මතයයි. මෙම ශිෂ්ටාචාරය හරප්පා ශිෂ්ටාචාරය වශයෙන් ද හඳුන්වනු ලබයි. මෙය වර්ග සැතපුම් 1200 ං 700 පමණ විශාල ප්‍රදේශයක පැතිර ඇති බව පංජාබ්, සින්ඩ් සහ බලුකිස්‌ථාන ආදී ප්‍රදේශවල කරන ලද කැණීම්වලින් අනාවරණයවී තිබේ. (ඇඳගම, 1999, පි. 43) මෙහිදී හරප්පා සහ මොහෙන්ජෝදාරෝ නගර වැදගත් තැනක්‌ ගත් අතර මෙම ඉන්දු ගංගාශ්‍රිත මිටියාවතේ මුල්ම සභ්‍යත්වය ක්‍රි.පූ. 1500 දී පමණ ආර්යයන්සතු විය. කෘෂිකර්මය මෙම ආර්යයන්ගේ ප්‍රධාන රක්‍ෂාව වූයේය. මෙම සංචාරක ජනයා සංචාරක සිරිත් විරිත් අත්හැර ඉන්දු ගං මිටියාවතේ ගොවිතැන් කරන්නට පටන් ගත්තේය. ඔවුහු යව, මුං, තල, වී, මෙනේරි, මෑ වර්ග, බෝංචි ආදිය වැවූහ. සුරා වැනි මත්ද්‍රව්‍ය නිෂ්පාදනය පිණිස පුරාණ කාලවල සිටම ධාන්‍ය වර්ග යොදා ගන්නා ලදී. ඊට අමතරව ඉන්දුනිම්න නගරවල ජනතාව තිරිඟු, බාර්ලි. කපු සහ රටඉඳි වගා කළ අතර මස්‌ සහ බිත්තර සඳහා සතුන් ඇති කිරීම ද කිරි පට්‌ටි පවත්වා ගෙන යැම ද කළ බව පෙනේ. මෙකල කෘෂිකර්මය සම්බන්ධ වැදගත් ලක්‍ෂණයක්‌ ලෙස මොහොන්ජෝදාරෝ නගරයේ ධාන්‍යාගාරයක්‌ ඉදිකර තිබීම දැක්‌විය හැක. එමගින් ආහාර සඳහා වූ ධාන්‍ය වර්ග ගබඩා කර ආරක්‍ෂා කිරීම අපේක්‍ෂා කරන ලදී.

මේ ආකාරයට ඉන්දු නිම්න මිටියාවතේ වූ ග්‍රාමීය ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය ගොවිතැන විය. මෙම ශිෂ්ටාචාරයේ මොහොන්ජෝදාරෝ - හරප්පා යුගයේ දී (ක්‍රි. පූ. 2500 - 3000) වී ගොවිතැන ප්‍රචලිතව තිබූ බව පුරාවිද්‍යා කැණීම්වලින් ඔප්පු වී ඇත. හින්දු ශිලා ලිපි බොහෝ ප්‍රමාණයක සහල් දේව පූජා සඳහා ගත් බව සඳහන් වන අතර, විශේෂ සහල් වර්ග මේ සඳහා ගත් බව දෙමළ පුරාණ ස්‌ත්‍රෝතවල සඳහන් වේ. මේ හැර කාලය, ජල අවශ්‍යතා හා පෝෂ්‍යදායී ගුණාංග අනුව සහල් වර්ග කළ බව සුස්‌රුතගේ (ක්‍රි. පූ. 1000) භාරතීය ආයුර්වේද පුස්‌තකයක සඳහන් වේ. මෙලෙස ඉන්දුනිම්න ආශ්‍රිතව ද කෘෂිකාර්මික කටයුතු සිදුවිය.

චීන ශිෂ්ටාචාරය

අවුරුදු 6000 ක පමණ කාලයක සිට චීන්නු ශිෂ්ට ජාතියක්‌ වූහ. මුලින්ම මොහු වාසස්‌ථාන ආරම්භ කිරිම ගංගා ආශ්‍රිතව සිදු කරන ලදී. මේ ශිෂ්ටාචාරයේ මුල් ආරම්භය වූයේ යෑංසිකියෑං සහ හොවැංහෝ (කහ ගඟ) යන ගංගාධාර ආශ්‍රයෙනි. මෙම සියලුම ගංගා බටහිර සිට නැගෙනහිර දෙසට ගලා ගොස්‌ පැසිපික්‌ මුහුදට වැටේ. මුලින්ම චීන ශිෂ්ටාචාරය හොවැංහෝ ගම් මිටියාවතෙන් පටන් ගත් අතර සැතපුම් 3000 කට ආසන්න ප්‍රමාණයක්‌ ගලා යන මෙම ගඟ දෙපස ගොවිතැන් කටයුතුවලට සුදුසු පස්‌ තට්‌ටු පුළුල් ලෙස තැන්පත් වී ඇත. මෙහි විසූ චීන ජාතිකයන්ගේ ප්‍රධාන රක්‍ෂාව වූයේ ගොවිතැනය. ඔහු විධිමත් වාරිමාර්ග ක්‍රම මගින් වගා ක්‍රම වැඩිදියුණු කරගත් අතර සරුසාර අස්‌වැන්නක්‌ ලබා ගැනීම සඳහා බෝග මාරු ක්‍රමය ද ක්‍රියාත්මක කළහ. ඔවුහු කෘෂිකාර්මික කටයුතුවලදී හොඳ බීජ වර්ග අනර්ඝ පොහොර වර්ග යෙදූහ. මෙනේරි, තිරිඟු, බාර්ලි, වී, සෝයා. බෝංචි සහ බතල ආදිය ඔවුන් විසින් වගා කළ අතර, මෙම ගොවීහු පාංශු පාලනය ද කළහ. මොහු පටපණුවන් ඇති කර ඔවන්ගේ නූල්වලින් රෙදි විවීම ද සිදු කළහ. මේ ආකාරයට චීන ශිෂ්ටාචාරය ආශ්‍රිතව කෘෂිකාර්මික කටයුතු සිදු වූ අයුරු හඳුනාගත හැක.

ග්‍රීක ශිෂ්ටාචාරය

ඊජියන් මුහුදෙහි හා ඒ අවට පිහිටි දූපත්වලත් පැරැණි වූ සභ්‍යත්වයක්‌ පැවතුණි. ක්‍රීටය මධ්‍ය කොට පැවති මෙම සභ්‍යත්වය මිහෝවානු සභ්‍යත්වය ලෙස හැඳින්වේ. මධ්‍යධරණි මුහුදට නෙරා ගිය අර්ධද්වීපයත්, ක්‍රීට්‌ දූපතත් ඇතුළු දිවයින් රාශියක්‌ ග්‍රීසිය ලෙස සැලකේ. මෙම ග්‍රීසිය රළු පරළු කඳු වැටිවලින් සමන්විත වූ හෙයින් එහි මිටියාවත් රැසක්‌ දක්‌නට ලැබිණ. එම මිටියාවත්වල ගස්‌ යට සංක්‍රමණය වූ ග්‍රීක ගෝත්‍රික ජන කොටස්‌ පදිංචි වූ අතර ඔවුන්ගෙන් බහුතරය දිවයිනේ සීමිත ඉඩකඩ තුළ ගොවිතැන් කළ අය විය. සෙසු අය සතුන් ඇති කළහ. මෙලෙස ක්‍රි. පූ. 2000 දී පමණ ක්‍රීට දූපතෙන් පැමිණි ආර්ය කණ්‌ඩායමක්‌ ග්‍රීක ශිෂ්ටාචාරය ආරම්භ කළහ. ග්‍රීකයෝ තැනිතලා ප්‍රදේශවල කුඩා ගම් තනා ඒවායෙහි පදිංචි වූහ. ඔවුහු තිරිඟු, බාර්ලි, ආදි ධාන්‍ය වර්ගත්, ඔලිව්, මිදි ආදී පලතුරු වර්ගත් වවමින් ජීවිකා වෘත්තිය කර ගෙන ගොස්‌ ඇත. ඔවුහු කඳු බෑවුම්වල පිහිටි තණ බිම්වල වැවණු තණ කවමින් එළු, බැටළු, ඌරු ආදී සතුන් ද ඇති කළහ. මේ පිළිබඳව තවදුරටත් දක්‌වනවා නම් ක්‍රි. පූ. 326 දී පමණ ඇලෙක්‌සැන්ඩර් රජු ඉන්දියාව ආක්‍රමණය කිරීමෙන් පසුව ග්‍රීසිය වැනි රටවල ඉතිහාස කතාවල වී ගැන සඳහන් වී තිබීම දැක්‌විය හැක. මේ ආකාරයට ග්‍රීක ශිෂ්ටාචාරය ආශ්‍රිතව කෘෂිකර්මය වර්ධනය වූ අයුරු හඳුනාගත හැක.

රෝම ශිෂ්ටාචාරය

ඉතාලියේ ටයිබර් ගං තීරයේ බිහි වූ මෙම ශිෂ්ටාචාරය ඉතා උසස්‌ තැනක්‌ ගත්තේය. ස්‌ටෘකන්වරු පලවා හැර ක්‍රි. පූ. 509 දී පමණ ලතින් රෝම සමූහාණ්‌ඩුව පිහිටුවා ගත් අතර, මොවුන් මුලින්ම ටයිබර් නදියට දකුණින් පිහිටි මධ්‍යම තැනිතලා ප්‍රදේශයේ පදිංචි විය. මොවුහු සිය ජීවිකාව ගොවිතැන ආශ්‍රයෙන් සිදු කළහ. මෙම රෝමයේ වූ සෞම්‍ය දේශගුණය හා සරුසාර පස කෘෂිකාර්මික කටයුතුවල වර්ධනයට බෙහෙවින් හිතකර විය. රෝමයේ සිsටි දක්‍ෂ පාලකයෙකු වූ ජූලියස්‌ සීසර් ද පාලන කටයුතු සිදු කිරීමේදී කෘෂිකාර්මික කටයුතු වැඩිදියුණු කිරීමට මැදිහත් වී ඇත. ඊට අමතරව ඔගස්‌ටස්‌ සීසර් වැනි පාලකයන් ද කෘෂිකාර්මික කටයුතු සඳහා මැදිහත් වී ඇත. මොවුහු වාරිමාර්ග ක්‍රම, පාලම් සහ ජලාධාර යන්ත්‍ර ඉදිකිරීම සඳහා නිර්ලෝභී ලෙස මුදල් වියදම් කළේය. උදාහරණ ලෙස, රෝමන් වාරිමාර්ග පද්ධතියක්‌ දකුණු ප්‍රාන්තයේ නීම්ස්‌හි පිහිටා ඇත. මෙහි බැම්ම අඩි 160 ක්‌ උස්‌ වූ අතර, එය මතුපිට පළල අඩි 10 කි. මේ ආකාරයට රෝම අධිරාජ්‍ය බටහිරින් අත්ලාන්තික්‌ සාගරය දක්‌වාත් නැගෙනහිරින් රයින්. ඩැනියුබ් හා යුප්‍රටීස්‌ ගංගා දක්‌වා ද පැතිරී පැවති අතර, මෙහිදී කෘෂිකාර්මික කටයුතු සිදු කිරීම දක්‌නට ලැබිණ. (ඇඳගම 1999. පි. 133)

මේ ආකාරයට ලෝකයේ ශිෂ්ටාචාර ආශ්‍රිතව කෘෂිකර්මය වර්ධනය වූ අතර, එය ආර්ථිකයේ වැදගත් අංශයක්‌ බවට පත්විය. කෘෂිකර්මය බුදුන් සමයේ ද දක්‌නට ලැබී ඇත. උදාහරණ ලෙස, බුදුන් සමයේ වී ගොවිතැන පිළිබඳව අම්තෝදන රජු පුතුන් වූ මහානාම හා අනුරුද්ධ කුමරුවරුන් අතර වූ සංවාදයකින් විස්‌තර දැක්‌වීම පෙන්වා දිය හැක. එකල වී ගොවිතැන ගැන මහානාම කුමරු කළ විස්‌තරයත්, පූජාවලියේ සැකෙවින් දැක්‌වෙන්නේ මෙසේය.

"සී සෑම ඉතා අමාරු දෙයකි. නඟුලත්, වියදණ්‌ඩත් පෝරුවත්, ගොන් බානත් ගොවියෙක්‌ වැනි අටලොස්‌සක්‌ දෙනා උපයෝගී කරගෙන යන ගමන සී සෑමයි. සී සෑවාට පසු කුඹුරෙහි ඇළ මං පාදාගෙන සුභ නැකතකින් බිම සාදා දෙවරක්‌ තුන්වරක්‌ සී සා නියර කපා බිම සකස්‌ කර පෝරු ගා බීජ කුඹුරෙහි වපුරා ගතයුතුය. කුඹුර වටා වැටක්‌ ගසා ගොයම් ගස වැඩෙන අවස්‌ථාවෙහි පැලක්‌ සාදා එය ආරක්‍ෂා කර ගත යුතුය. දිවා රෑ නිදි නොලබා ඌරන්, මුවන් මීමන් ආදිය සතුන්ගෙන් හාරමසක්‌ ආරක්‍ෂා කළ යුතුය. කරල් පූදින මුල් අවස්‌ථාවේදී රෝග සෑදේ නම් එයට පිළියම් යෙදිය යුතු වේ. සිනටි කුඹුරක්‌ නම් තුන් හාර මසක්‌ රැකිය යුතුය. මව් කුඹුරක්‌ නම් හය මසක්‌ හත් මසක්‌ රැකිය යුතුය." යනුවෙනි.

(බණ්‌ඩාර. 2005, පි. 1)

බුදුන් වහන්සේගේ කාලයේ දී වප්මඟුල් උත්සවයවැනි දේවල් පවත්වා ඇති බව ඉතිහාසයේ සඳහන් වේ. ඉන්දියාවේ හින්දු අධිරාජ්‍යවාදය ද තුළ ද කෘෂිකාර්මික කටයුතු සිදු වී ඇත. එනම් බිම්බිසාර සහ අජාසත්ත රජු සමයේ කෘෂිකාර්මික හා කාර්මික ක්‍ෂේත්‍රයේ ප්‍රගතියක්‌ ද සිදුවිය. මෙකල කෘෂිකාර්මික ශ්‍රේණි ක්‍රමය වර්ධනය වූ අතර අශෝක අධිරාජ්‍ය සමයේදී ද කෘෂිකාර්මික කටයුතු සඳහා නොමඳව අවධානය යොමු කර ඇත.

ක්‍රි. පූ. 4 වැනි වර්ෂයේදී ඡේසුතුමා උපත සිදු වූ කාලයේදී රෝමයේ කෘෂිකාර්මික කටයුතු දක්‌නට ලැබී ඇත. ඊට අමතරව ක්‍රි. ව. 570 දී පමණ උපත ලැබූ මහම්මත්තුමාගේ සමයේ ද අරාබියේ කෘෂිකාර්මික ජීවන රටාවක්‌ පැවත ඇත. එනම් එකල අරාබි ජාතිකයන් සිය ජීවනෝපාය ලෙස සතුන් ඇති කළ අතර, ප්‍රධාන වශයෙන් ඔටුවන් ඇති කර ගැනීම ද සිදු වී තිබේ.

මධ්‍යතන යුරෝපයේ වැදගත් ලක්‍ෂණයක්‌ ලෙස 10 වන සියවස පමණ වන විට වැඩවසම් ක්‍රමය ආරම්භ වී වර්ධනය වීම දැක්‌විය හැක. මෙම සමාජ ක්‍රමයේ ආර්ථිකයේ පදනම වූයේ ප්‍රවේණී ක්‍රමය වේ. මේ තුළ ගොවි ජනතාව ජීවත් වූ කුඩා පැල්පත්වලින් සමන්විත වූ අතර මෙම සෑම ගමකම ධාන්‍ය අඹරන යන්ත්‍ර වැනි දේවල් දක්‌නට ලැබී ඇත. සෑම ගම් සීමාවෙන් ඔබ්බෙහි වගා කළ කුඹුරු තණබිම් සහ කැලෑ ගමක පොදු ලක්‍ෂණ වේ. ප්‍රවේණිය තුළ සෑම ගොවියෙකුටම ඉඩම් කොටස්‌ 03 ක්‌ හිමි වූ අතර, එයින් සෑම වර්ෂයකම 01 ක්‌ පුරන් කළ අතර ඉතිරි සියල්ල වගා කරන ලදී. මෙහි වූ සෑම ගොවියෙක්‌ ම පාහේ බාර්ලි. රයි, තිරිඟු සහ වී වැනි ධාන්‍යවලට අමතරව එළවළු වගා කළ අතර කුකුළන් සහ ගවයන් ඇති කිරීම ද කළේය. මෙහි වූ ගොවියෝ හෙවත් ප්‍රවේණී දාසයෝ සියලු දෙනාම වංශාධිපතිගේ කුඹුරු යායෙහි සේවය කළ බදුකරුවෝ වූහ.

මේ ආකාරයට විකාශය වූ කෘෂිකර්මයේ ආරම්භය පිළිබඳව නිශ්චිත කාල වකවානුවක්‌ දැක්‌විය නොහැක. මානව ශිෂ්ටාචාරයේ වැදගත් සංධිස්‌ථානයක්‌ වූ ගින්දර සොයා ගැනීමත් සමඟ සත්ත්වයනුත්, පැළෑටිත් මිනිසාට තමාගේ අභිමතය ගෘහස්‌ථකරණය කිරීම අවශ්‍ය විය. මේ අනුව කෘෂිකර්මයේ මුල් ආරම්භය ක්‍රි. පූ. 8000 දී පමණ සිදුවන්නට ඇතැයි ලෙස්‌ලි සීමන්ස්‌ නැමැති කෘෂිකාර්මික භූගෝල විද්‍යාඥයා අදහස්‌ කරයි.

මෙලෙස කෘෂිකර්මය ලොව පුරා ක්‍රමිකව වර්ධනය වීම සඳහා බෙහෙවින් ජන සංඛ්‍යා වර්ධනය බලපාන බව බොහෝ විද්වතුන්ගේ මතය වේ. ඒ අනුව කිසියම් ප්‍රදේශයක ජන සංඛ්‍යාව එම ප්‍රදේශයේ කෘෂිකාර්මික වර්ගයේ ස්‌වභාවය හා කාර්යක්‍ෂමතාව මත රැඳී පවතී. එනම් ජනගහනයේ වර්ධනය කෘෂිකාර්මික තිව්‍රතාවයට හේතු වන බවත් ය. ජන සංකේන්ද්‍රනය ඇති වන්නට පටන් ගත්තේ ගැමි කෘෂිකාර්මික ප්‍රජාවක්‌ ඇතිවීමෙන් පසුවයි. එනම් ක්‍රි. පූ. 7000 - 6000 පමණ පෙර සිටය.

ක්‍රිස්‌තියානි යුගය ආරම්භයේ දී දශ ලක්‍ෂ 250 ක්‌ වූ ජනගහනය 19 වන සියවස ආරම්භ වන විට දශ ලක්‍ෂ 1000 ක්‌ දක්‌වා වර්ධනය වීමත් සමඟ කෘෂි ඉඩම් ප්‍රමාණය ද වර්ධනය විය. පසුගිය අවුරුදු සියය තුළ පැරැණි කෘෂිකාර්මික ලෝකයේ එනම්, නැගෙනහිර ආසියාවේ, ඉන්දියානු උප මහද්වීපයේ හා යුරෝපයේ කෘෂි ඉඩම් ප්‍රමාණය ප්‍රසාරණය වී ඇත්තේ ඉතා අල්ප වශයෙනි. මෙකල කෘෂි ඉඩම් ප්‍රසාරණය වඩාත් සිදු වූයේ රුසියාව, ඔස්‌ටේ්‍රලියාව, උතුරු ඇමරිකාව හා ලතින් ඇමරිකාව වැනි ප්‍රදේශවලය. පසුගිය අවුරුදු දස දහස තුළ ඉතා පුළුල් ලෙස ලෝක ජන සංක්‍රමණ සිදු වූවත් ලෝක භූමියෙන් කෘෂිකර්මයට යොමු වී ඇත්තේ 11% ක්‌ පමණි. භූමියෙන් 20% ක්‌ පමණ විවිධ සත්ත්ව පාලන කටයුතුවලට යෙදවී ඇත.

මේ ආකාරයට ක්‍රමිකව විකාශය වූ ලෝක කෘෂිකර්මය කෙරෙහි පසුගිය වසර 200 තුළ දැඩි ලෙස බලපෑම් එල්ල වී ඇත. එනම් කාර්මීකරණය, නාගරීකරණය, වාණිජ්‍යකරණය, ප්‍රවාහනය සහ තාක්‍ෂණය වේ. 18 වැනි සියවසේ ඇති වූ කාර්මික විප්ලවයත් සමඟ වර්ධනය වූ කෘෂිකාර්මික තාක්‍ෂණය හා ලෝක කෘෂිකර්මයත් එහි ව්‍යාප්ති රටාවත් විප්ලවීය වෙනසකට භාජන වී ඇත. ලෝක කෘෂිකර්මය අවුරුදු දස දහසක්‌ පැරැණි වුවද, තාක්‍ෂණික වෙනස්‌වීම් සිදු වූයේ ඉතා සෙමිනි. ක්‍රි. පූ. 2000 හෝ ඊට ප්‍රථම කාලයේදී බොහෝ බෝග වර්ග වගා කිරීම, සතුන් හීලෑ කිරීම කර තිබුණ ද, 19 වන සියවස වන තුරු ම කෘෂිකර්මයේ භාවිත කරනු ලැබුයේ ඉතා ප්‍රාථමික ශිල්ප ක්‍රම සහ උපකරණයි. කෙසේ නමුත් 18 වැනි සියවසේ කාර්මික විප්ලවය හා 20 වැනි සියවසේ හරිත විප්ලවය ඇති වන තෙක්‌ම ලෝකයේ දක්‌නට ලැබුණේ කිසිදු නවීකරණයකට භාජන නොවූ සාම්ප්‍රදායික කෘෂිකාර්මික රටාවකි.

ඉන් පසුව 19 වන සියවසේදී ඇති වූ කාර්මික විප්ලවය සමඟ කාර්මික අරමුණු කරගත් කෘෂිකර්මාන්තය බිහිවීම සිදු වූ අතර, මෙලෙස ආරම්භ වුණු සාම්ප්‍රදායික කෘෂිකර්මය 20 වැනි සියවසේ ඇති වූ හරිත විප්ලවය සමඟ නවීකරණයට භාජන විය. ලොව ධාන්‍ය වර්ගවල ආශ්‍රිතව ප්‍රධාන තැනක්‌ වී වලට සහ තිරිඟුවලට ලැබි ඇත. මේ අනුව ලෝකයේ සාම්ප්‍රදායික කෘෂිකර්මය ප්‍රධාන වශයෙන් වී වගාව හා සම්බන්ධ වේ.

මෙලෙස වෙනස්‌කම්වලට භාජන වූ අවුරුදු 10000 ටත් වඩා පැරැණි ලෝක කෘෂිකර්මයේ සිදු වූ ඓතිහාසික විකාශය පිළිබඳ විවිධ චින්තකයෝ වර්ගීකරණය ඉදිරිපත් කර ඇත. ඒ අතුරින් වැදගත් එකක්‌ ලෙස එනම් සුප්‍රසිද්ධ භූගෝල විද්‍යාඥයකු වූ ඩර්මන්ට්‌ විට්‌ල්සි  (1936) විසින් රචිත "පෘථිවියෙහි ප්‍රධාන කෘෂිකාර්මික කලාප" නමැති ලිපියෙහි කෘෂිකාර්මික වර්ගීකරණ යක්‌ ඉදිරිපත් කර ඇත. එය කලාප 10 කින් සමන්විත වේ. මෙය පාදක කර ගෙන 1974 දී ඩී. බී. ග්‍රීග් විසින් රචිත "The Agricultural Systems of the world An Evolutionary Approach" (ලෝකයේ කෘෂිකාර්මික පද්ධතික පරිණාමීය ප්‍රවේශයක්‌) යන ග්‍රන්ථයෙන් කෘෂිකාර්මික වර්ගීකරණය ඉදිරිපත් කර ඇත. මේ අනුව ලෝක කෘෂිකර්මය ප්‍රධාන වර්ග 9 කට බෙදාd වෙන් කරනු ලැබීය. ඒවා නම්,

1. සල ගොවිතැන

2. ආසියාවේ තෙත් බිම්වල වී වගාව

3. සංචාරක සත්ත්ව පාලනය

4. මධ්‍යධරණී කෘෂිකර්මය

5. බටහිර යුරෝපයේ හා උතුරු ඇමරිකාවේ මිශ්‍ර ගොවිතැන

6. කිරි පට්‌ටි පාලනය

7. ව්‍යාපාරික වතු වගාව

8. සත්ත්ව රංචු පාලනය

9. ව්‍යාපාරික ධාන්‍ය වගාව යනුවෙනි.

විට්‌සිල්ගේ වර්ගීකරණයේ වූ කොරටු ගොවිතැන ග්‍රීග් ගේ වර්ගීකරණයේ අන්තර්ගත නොවේ. ලෝක කෘෂිකර්මයේ සිදු වූ විකාශය ග්‍රීග් ගේ වර්ගීකරණය මඟින් මෙසේ දැක්‌විය හැකිය. (අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමෙන්තුව, 1998, පි. 185)

සල ගොවිතැන

සල ගොවිතැන ලොව පැරැණිම කෘෂිකර්ම ක්‍රමවලින් එකක්‌ ලෙස හැඳින්විය හැක. මෙය ආසියාවේ, අප්‍රිකාවේ සහ මධ්‍යම සහ දකුණු ඇමරිකාවේ නිවර්තන තෙත් සහ වියළි වනාන්තර ප්‍රදේශවල දැක ගත හැක. මෙහි මූලික ලක්‍ෂණය වන්නේ ස්‌ථිර ගොවිපොළක්‌ නොමැති කමයි. වනාන්තර හෝ ලඳු බිම් දෙපසක්‌ හෝ සැවනා තෘණ බිම් යටතේ පවත්නා ප්‍රදේශයක්‌ හෝ පුළුස්‌සා හෙලිකර ගන්නා ගොවි බිමක වර්ෂයක්‌ වර්ෂ දෙක තුනක්‌ ගොවිතැන් කොට අතහැර දැමීම සල ගොවියාගේ සිරිතය. පොහොර යෙදීමෙන් තොරව බෝග වගාවෙහි නිරත වන නිසා පසේ ස්‌වභාවික සාරය නැතිවී ගිය විට වගා බිමෙන් ඉවත්ව නව බිමකට සංක්‍රමණය වේ. මෙහි මෙලෙස භූමි මාරු කිරීම නිතැතින්ම සිදු වේ. මේ තුළ බොහෝ විට නොදියුණු ජන කොටස්‌ වාසය කරයි.

අදත් නිවර්තන කලාපයේ වනාන්තර ලඳු බිම් හා තණ බිම් ආශ්‍රයෙන් තැනින් තැන ක්‍රියාත්මක වන සල ගොවිතැන මධ්‍යම ඇමෙරිකානු රටවලදී "මිල්පා" (Milpa) යනුවෙනුත් මධ්‍යම අප්‍රිකානු රටවල "චිටිමේන්" (Chitimane) ලෙසත් අග්නිදිග ආසියාතික රටවල "ලාඩං" (Ladang) යනුවෙනුත් හඳුන්වනු ලැබේ. සමහර අවස්‌ථාවලදී ඒ ඒ රටවලට ආවේණික ප්‍රාදේශීය නම් ද භාවිතා වේ. නිදසුන් ලෙස බ්‍රසිලයේ "රොකා" ((Roca) ඉන්දියාවේ "ජුම්" (Jhum) හා ශ්‍රී ලංකාවේ "හේන්" (Chena) ලෙස දැක්‌විය හැක.

ආසියාවේ තෙත් බිම්වල වී වගාව

මෙය ලෝකයේ ඉතා විශාල මෙන් ම ඉතා පැරැණි කෘෂිකර්ම වර්ගවලින් එකකි. ආසියාතික ජනතාවගේ ප්‍රධාන ආහාරය මෙය වන අතර. මෙය ආසියාවේ සියලු ගංගා නිම්නවල දැකගත හැක. තෙත් වී කෘෂිකර්මය ශ්‍රී ලංකාව වැනි උණුසුම් නිවර්තන කලාපයක සිට හොකයිඩෝ දූපත් වැනි සිසිල් ප්‍රදේශ දක්‌වාම ව්‍යාප්ත වී ඇත. මෙම තෙත් බිම්වල කරන වී වගාව ප්‍රධාන වශයෙන් ම යෝජනා වී ඇත්තේ පාකිස්‌ථානයේ සිට දකුණු අග්නිදිග හා නැගෙනහිර ආසියාව හරහා දකුණු කොරියාව දක්‌වා පැතිරෙන වෙරළබඩ පහත් බිම් කලාපවල සහ ඒ අවට පිහිටි දූපත්වලය. ලෝක ජන සංඛ්‍යාවෙන් 1/3 ක්‌ පමණ මෙම කෘෂිකර්මාන්තයෙහි නිරතව සිටින අතර, මෙහි ගොවිපොළවල් කුඩා වේ. සාමාන්‍යයෙන් හෙක්‌ටයාර් 2 කට වඩා විශාල නොවේ. මෙය මූලිකව පවුලේ ශ්‍රමය මත සිදුවන අතර නිෂ්පාදනයේ සැලකිය යුතු ප්‍රමාණයක්‌ දේශීය පරිභෝජන කටයුතු සඳහා යොදා ගනී. (හෙන්නායක, 2004, පි. 69)

සංචරණ සත්ත්ව පාලනය

සංචරණ සත්ත්ව පාලනය යනු එෙŒරුන් ස්‌වභාවිකව වැඩෙන තණ බිම් පදනම් කරගෙන හීලෑ කරගත් සතුන් සමඟ තැනින් තැනට සංචාරය කිරීම නිසා ඇති වන අර්ථ ක්‍රමයයි. මෙය පැරැණි ලෝකයේ වියළි තීරුවේ ව්‍යාප්තව පවතී. එනම් සහරාවේ අත්ලාන්තික්‌ වෙරළ සීමාවේ සිට මොංගෝලියාවේ ස්‌ටේප්ස්‌ තෘණ භූමිය දක්‌වා කලාපයේ ය. මීට අමතරව යුරෝපා හා ආසියා මහද්වීපවල අන්තයේ සහ ඇලැස්‌කාවේ ද දක්‌නට ඇත. තෙත් වී වගාවලටත් වඩා දිගු ඉතිහාසයක්‌ ඇති මෙය වසර 3000 ක්‌ පමණ අඛණ්‌ඩව සිදුවෙමින් පවතී. මෙහි නිරත වන ජන සංඛ්‍යාව දශලක්‍ෂ පහළොවක්‌ පමණ වන බවත්, මෙය සිදුකරන ප්‍රදේශ ලෝකයේ මුළු බිම් ප්‍රමාණයෙන් 10% ක්‌ පමණ වේ. සංචාරක එෙŒරුන් සමහර රටවල ජනගහනයෙන් විශාල සංඛ්‍යාවක්‌ සිටියි. උදාහරණ ලෙස සෝමාලියාවේ 75% ක්‌, සුඩානයේ 30% ක්‌ සහ ඉරානයේ සහ ඇෆ්ගනිස්‌ථානයේ 15% ත් - 20% ත් අතර ප්‍රමාණයක්‌ සිටීම දැක්‌විය හැක. මෙම කෘෂිකර්මය වර්තමානයේ දක්‌නට ලැබෙන පාංශු පාලනයේ ආදීම අවස්‌ථාව ලෙස දැක්‌විය හැකිය. (හෙන්නායක, 2004, පි. 70)

මධ්‍යධරණී කෘෂිකර්මය

මෙම කෘෂිකර්මය මධ්‍යධරණී මුහුද වටාත් මධ්‍යම චිලියත්, දකුණු අප්‍රිකාවේ කේප් පළාතෙත්, නිරිතදිග සහ දකුණු ඔස්‌ටේ්‍රලියාවේත් දැක ගත හැක. ලෝක කෘෂිකර්ම වර්ග අතර වගා බිම් ප්‍රමාණයෙන්, නිෂ්පාදනයෙන් සහ එහි නිරත ජනගහනයෙන් ද මෙය කුඩාය. මෙම කෘෂිකර්මයේ ප්‍රධාන බෝගය තිරිඟු වන අතර පලතුරු සහ එළවළු වගා කරයි. මේ සඳහා මුළු ඉඩම්වලින් 10% ක්‌ පමණ යොදවා ඇත. ඊට අමතරව මෙහි සත්ත්ව පාලන කටයුතු ද සිදු කරනු ලබයි. එමගින් මුළු කෘෂි ආදායමෙන් 40% ක්‌ පමණ ලැබේ. මෙහි සාම්ප්‍රදායික ක්‍රම භාවිතා කරන අතර මේ තුළ වූ කුඩා ගොවිපොළවල් සඳහා පවුලේ ශ්‍රමය බහුලව යොදා ගනී. ඔලිව් සහ මිදි මූලික බෝග කෘෂිකර්මය ඉහළ ඵලදායීතාවකින් යුක්‌ත වේ. මධ්‍යධරණි ෙද්‍ර`ණියේ පිහිටි රටවල් අතරින් ග්‍රීසිය වියළි මිදි නිෂ්පාදනයටත්, ස්‌පාCඳ්Cඳය ඔලිව් තෙල්. දොඩම් හා වයින්වලටත්, මොරොක්‌කෝ ටියුනීසියාව හා ඇල්ජීරියාව වැනි උතුරු අප්‍රිකානු රටවල් ඔලිව් තෙල්, වයින් හා බාර්ලි නිපදවීමටත් දකුණු අප්‍රිකාව ජෑම් වර්ග සහ පැඟිරි පලතුරුවලටත්, ඔස්‌ටේ්‍රලියාව තිරිඟු, මිදි හා සත්ත්ව පාලනයටත් මෑත කාලයේදී විශේෂතාවයක්‌ ගොඩනංවා ඇත.

බටහිර යුරෝපයේ හා උතුරු ඇමරිකාවේ මිශ්‍ර ගොවිතැන

මිශ්‍ර ගොවිතැන යනු වාණිජ බෝග සහ සත්ත්ව පාලනය එකම භූමියක්‌ තුළ කිරීමයි. බටහිර යුරෝපයේ ඇති මිශ්‍ර ගොවිතැන සහ සත්ත්ව පාලනය ලොව ඉතා ඉහළ ඵලදායීතාවකින් යුත් කෘෂිකර්මයකි. උතුරු ඇමරිකාවේ මිශ්‍ර ගොවිතැන දේශාංශ 98 සිට ඉරිඟු පටිය දක්‌වා විහිදේ. මීට අමතරව ආර්ජන්ටිනාවේ පැම්පාස්‌ ගිනිකොදිග ඔස්‌ටේ්‍රලියාවේ, දකුණු අප්‍රිකාවේ සහ නවසීලන්තයේ ද මිශ්‍ර ගොවිතැන දැක ගත හැක. මෙහි වූ මිශ්‍ර ගොවි නිෂ්පාදන වෙළෙඳපොළට ඉදිරිපත් කරනුයේ අමුද්‍රව්‍ය වශයෙනි. මෙම ගොවිතැන දැඩි ලෙස වාණිජකරණයට හා යාන්ත්‍රීකරණයට ලක්‌ වූවකි. මෙම ගොවිතැනේ ගොවිපළවල සාමාන්‍ය විශාලත්වය ඇමරිකාවේ හෙක්‌ටයාර් 50 ක්‌ පමණ වුවත් යුරෝපයේ එය හෙක්‌ටයාර් 10 ක්‌ වේ. යුරෝපයේ ධාන්‍යවලට අමතරව බීට්‌, අර්තාපල් වැනි අල වර්ග ද වගා කරයි.

කිරිපට්‌ටි පාලනය

කිරි නිෂ්පාදනයට දීර්ඝ ඉතිහාසයක්‌ ඇතත්. එය ව්‍යාපාරික පදනමින් විශාල පරිමාණයේ ආර්ථික කටයුත්තක්‌ බවට පත් වූයේ පසුගිය සිය වසරක පමණ කාලය තුළදීය. ලෝක කිරි නිෂ්පාදනයෙන් 5/6 ක්‌ සහ කිරි ආහාරවලින් 90% ක්‌ ම නිෂ්පාදනයකරනු ලබන්නේ ඇමරිකාවේ, යුරෙපයේ, රුසියාවේ සහ ඔස්‌ටේ්‍රලියාවේ ය. උතුරු ඇමෙරිකාවේ, කැනඩාවේ, ඕන්ටේරියා ප්‍රාන්තයේ සහ එක්‌සත් ජනපදයේ නිව්යෝර්ක්‌, නව එංගලන්ත ජනපද සහ මහාවිල්වලට දකුණින් පිහිටි ජනපද (මිචිගන්, ඔහායෝ, විස්‌කොන්සින්, මිනසොටා) ප්‍රධාන වශයෙන් කිරි නිෂ්පාදයට යොමු වී ඇත. මෙම කෘෂිකාර්මික තත්ත්වය සඳහා අඩු මට්‌ටමේ ධන ආයෝජනයකින් වුවද අවතීර්ණ විය හැකි නිසාත්, මෙමගින් අවුරුද්ද පුරාම ස්‌ථාවර ආදායමක්‌ ලැබිය හැකි නිසාත් වර්තමානය වන විට බොහෝ සංවර්ධිත රටවල් මේ කරා යොමු වී ඇත. කිරි පට්‌ටි පාලනය සඳහා යුරෝපයේ මෙන්ම උතුරු ඇමෙරිකාවේ ද නගර වටා ඇති ඇතැම් කෘෂිකාර්මික ප්‍රදේශ මෑත කාලයේදී මෙම අර්ථ ක්‍රමයට යොමු වී ඇත. (හෙන්නායක, 2004, පි. 73)

ව්‍යාපාරික වතු කෘෂිකර්මය

යුරෝපීය ජාතිකයන් විසින් යටත් විජිත යුගයේදී නිවර්තන සහ උප නිවර්තන ප්‍රදේශවල මහා පරිමාණ මට්‌ටමින් ආරම්භ කරන ලද කෘෂිකර්ම රටාව වතු වගාව නම් වේ. උක්‌, කජු, රබර්. කෝපි, පොල්, කොකෝවා, කෙසෙල්, තේ, දුම්කොළ යනාදිය වතු බෝග අතර ප්‍රධාන තැනක්‌ ගනී. ව්‍යාපාරික වගාව කෙරෙන විශාල වතු හා කුඩා පරිමාණ නිෂ්පාදකයන් මෙම බෝගවලට යොදවා ඇති ප්‍රමාණය හෙක්‌ටයාර් මිලියන 92 ක්‌ (අක්‌කර මිලියන 228 ක්‌) වන බව හාට්‌ෂෝන් සහ ඇලැක්‌සන්ඩර් (1992) දක්‌වා ඇත. මෙම ප්‍රමාණය ලෝකයේ ගොවිබිම්වලින් 10% ක්‌ පමණ වේ. පසුගිය දශකය තුළ මෙම වගාව ආශ්‍රිතව අපනයන ඉපයුම්වලින් 48% ලතින් ඇමරිකානු රටවලත්. 35% ක්‌ ආසියානු කලාපයටත්, සහ 19% ක්‌ අප්‍රිකානු රටවලටත් ඇදී ගියේය. (අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව. 1998, පි. 215) මෙම ද්‍රව්‍ය විශාල ලෙස ආනයනය කර ඇත්තේ ඇමෙරිකා එක්‌සත් ජනපදය හා යුරෝපා රටවලය. ඊට අමතරව මෑතකදී මෙයට මැදපෙරදිග රටවල් ද ඇතුළු විය.

සත්ත්ව රංචු පාලනය

බෝග වගාවට අහිතකර භෞතික සාධක ඇති ප්‍රදේශවල ව්‍යාපාරික පදනමින් විශාල සත්ත්ව රංචු ඇති කිරීම සත්ත්ව රංචු පාලනය නම් වේ. මෙය සිදු කරන ප්‍රදේශ ප්‍රධාන කලාප 05 ක්‌ යටතේ දැක්‌විය හැක. එනම්,

1. බටහිර කැනඩාවේ සහ ඇමෙරිකා එක්‌සත් ජනපදයේ රොකී කඳුවල නැගෙනහිර බෑවුම් ප්‍රදේශවල සිට මධ්‍යම මෙක්‌සිකෝව දක්‌වා විහිදෙන කලාපය

2. දකුණු ඇමෙරිකාවේ ආර්ජන්ටිනාවේ දකුණු කෙළවරේ සිට බ්‍රසීලය දක්‌වා විහිදෙන කලාපය සහ වෙනිසියුලාවේ උතුරු කොටස

3. දකුණු අප්‍රිකානු ජනරජය

4. ඕස්‌ටේ්‍රලියාවේ නිව්සවුත් වේල්ස්‌ ප්‍රාන්තය සහ නවසීලන්තය

5. දකුණු ආසියාවේ කැස්‌පියන් මුහුදින් උතුරට හා නැගෙනහිරට වන්නට පිහිටි කලාපය යනාදිය වේ.

මෙහිදී බහුල ලෙස ගවයන්, බැටළුවන් ඇති කිරීම දක්‌නට ලැබේ. උදාහරණ ලෙස

බැටළුවන් ඇති කරන බිම් කට්‌ටි හෙක්‌ටයාර් 50,000, 100,000 අතර සහ ගවයන් ඇති කරන බිම් කට්‌ටි හෙක්‌ටයාර් 6,000 - 20,000 අතර ප්‍රමාණයන් ලෙස දැක්‌විය හැක. (අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, 1998, පි. 218)

ව්‍යාපාරික ධාන්‍ය වගාව

විශාල ගොවිපොළවල වාණිජ පදනමින් ධාන්‍ය වගා කිරීම ව්‍යාපාරික ධාන්‍ය වගාව ලෙස හැඳින්වේ. මෙහිදී ඉරිඟු, ඕට්‌ස්‌ සහ බාර්ලි දක්‌නට ඇතත්, කැපී පෙනෙන ධාන්‍ය වර්ගය වී ඇත්තේ තිරිඟුය. මධ්‍ය අක්‍ෂාංශීය කලාපවල තිරිඟු වගාව ව්‍යාප්තව ඇති අතර, මෑත ඉතිහාසයේ යුරෝපීය ජනපද පිහිට වූ උතුරු හා දකුණු ඇමරිකා මහද්වීපවලටත් ඕස්‌ටේ්‍රලියාවේත් මෙම වගාව දක්‌නට ලැබේ. පැරැණි ලෝකයේ තිරිඟු බිම් අතර රුසියාව වැදගත් තැනක්‌ ගෙන ඇත. මේ ආකාරයට තිරිඟු වගාව ප්‍රධාන තැනක්‌ ගත් නිසා ව්‍යාපාරික ධාන්‍ය වගාව ඒක බෝග කෘෂිකර්මයක්‌ බවට පත් විය. මෙම තත්ත්වය 1930 සිට පමණ විවිධාංගීකරණයට භාජන වී ඇත. ගොවි බිම්වල ඵලදායීතා වැඩි කිරීම සඳහා සාරවත් සංරක්‍ෂණ ක්‍රමයක්‌ ලෙස සත්ත්ව පාලනය හඳුන්වාදීමත් සමඟ ඔස්‌ටේ්‍රAලියාව, කැනඩාව හා ආර්ජන්ටිනාව වැනි රටවල් සත්ත්ව පාලනය සඳහා තිරිඟු බිම් යොදාගෙන ඇත.

මේ ආකාරයට ලෝක කෘෂිකර්මය අවුරුදු 10,000 කට පමණ පෙර ආරම්භ වී මෙලෙස විකාශනය වූ අයුරු ඉහත ග්‍රිග්ගේ වර්ගීකරණය පරීක්‍ෂා කිරීමේදී පෙනී යනු ඇත. මෙලෙස මීට වසර 10,000 කට පමණ පෙර ඉතා කුඩාවට ගංගා ආශ්‍රිත ශිෂ්ටාචාර හරහා ලෝක කෘෂිකර්මය වර්තමානය වන විට සංකීර්ණ තත්ත්වයට පත්වී මහා පරිමාණ වශයෙන් මුළු ලෝකය පුරාම ව්‍යාප්ත වී ඇති අයුරු දක්‌නට ලැබේ.

No comments:

Post a Comment