Thursday, November 20, 2014

ලංකාවේ බෝධි සත්ව ප්‍රතිමා



    අනුරාධපුර යුගයේ සිටම ථේරවාදී බුදු සමය ලක්දිව පිළිගත් දහම බවට පත්වෙලා තිබුණත් වරින් වර මහායාන බුදු සමය ලක්දිව පැන නැඟුණු බවත් ඒ ඒ කාලවල සිටි රජ දරුවන් විසින් ඒ මත යටපත් කළ බවත් වංස කතාවල සඳහන් වෙනවා. නමුත් ඒවා සම්පූර්ණයෙන්ම යටපත් කරන්න පුලුවන් වුණාද කියන එක ගැටළුවක්. විශේෂයෙන් ලංකාවේ විවිධ ප්‍රදේශවලින් මහායන බුදු සමයේ ප්‍රධාන අංගයක් වෙන බෝධිසත්ව වන්දනාව කළ බවට සාධක තවමත් ඉතුරුව පැවතීමම එයට උදාහරණයක් විදිහට ගන්න පුලුවන්. මේ විදිහට බෝධිසත්ව ප්‍රතිමා හමුවීමේදී කුඩා ප්‍රමාණයේ සිට විශාල ප්‍රමාණය දක්වා ප්‍රතිමා හමුවී තිබෙනවා.    
පෙරුම් දම් පුරමින් බුදුබව ප්‍රර්ථනා කරන උතුමන් වහන්සේලා බෝධිසත්වයන් වහන්සේලා නමින් හැදින්වේ. අනුරාධපුර යුගයේ අවසාන කාලයේ මෙම පිළිම කලාව බිහිවන්නට ඇතැයි විශ්වාස කරන්නවා. කාලයත් සමගින් මිනිසුන්ගේ සිතුම් පැතුම් ප්‍රර්ථනා නිරන්තරයෙන් වෙනස් වේ. ඒ නිසා මෙම පිළිම කලාව ආරම්භ වන්නට ඇතැයි විශ්වාස කෙරේ. ඒ වගේම දුකට පත් වුවන් එයින් මුදවා ගැනීම සදහාද බෝධිසත්ව පිළිම නිර්මාණය වීමට තවත් හේතුවක් වී ඇති බව පෙනේ.
මහායානික බෝධිසත්ව සංකල්පය ගැන සුළුවෙන් විස්තරයක් කරන්නේ නම් ථේරවාදී බුදු සමය තුළ දක්වන විදිහට ලොවුතුරා බුද්ධත්වය සඳහා පාරමිතා ධර්ම සම්පූර්ණ කරන පුද්ගලයින් බෝධිසත්වයන් ලෙස හඳුන්වනු ලබනවා. මහායාන බුදු සමය තුළ පිළිගැනෙන්නේ අපි සියලු දෙනාම බෝධිසත්වයන් වන බවත් ලොවුතුරා බුද්ධත්වයෙන් සසර ගමන නිමා කරන බවත්. ථේරවාදීන් දක්වන රහත් බෝධියෙන් හෝ පසේ බෝධියෙන් සසර ගමන නිමා කිරීම මහායානිකයන් ප්‍රතික්ෂේප කරනවා.
ඒ විදිහට මහායාන සංකල්පය අනුව බෝධිසත්වයින් සංඛ්‍යාව අසීමිත වුණත් ප්‍රධානම බෝධිසත්වයන් කීප දෙනෙක් ඔවුන් දක්වනවා. ඒ බෝධිසත්වයින් ධ්‍යානි බෝධිසත්ව, මහාස්ථාම ප්‍රාප්ත, ත්‍රෛලෝක්‍යවිජයී වැනි නම්වලින් හඳුන්වනා. එවැනි බෝසත්වරුන් අට දෙනෙක් සිටින අතර ඔවුන් නම්,
·        අවලෝකිතේශ්වර
·        මෛත්‍රිය
·        ආකාශ ගර්භ
·        වජ්‍රගර්භ
·        ක්ෂිතිගර්භ
·        සමන්තභද්‍ර
·        මඤ්ජු ශ්‍රී
·        සර්ව නිවාරණ විෂ්කම්භ
මේ සෑම ධ්‍යානී බෝධිසත්වයෙක්ටම මුද්‍රාවක්, වාහනයක් මෙන්ම සංකේතයක් තිබෙනවා. ඒ වගේමයි මේ බෝධිසත්වයින් අතරින් අවලෝක්තිශේවර හා මඤ්ජු ශ්‍රී යන බෝසත්වරුන් ප්‍රමුඛත්වයේලා සලකන අතරම මීළඟට බුද්ධත්වයට පත්වන ‍මෛත්‍රිය බෝසතුන්ට විශේෂත්වයක් හිමිවෙනවා. කෙසේ නමුත් මේ බෝධිසත්වයින් අතරින් බොහෝ දෙනාගේ බුහුමනට ලක්වෙන්නේ අවලෝකිතේශ්වර බෝසතුන්ව.
සාමාන්‍යයෙන් ලංකාවේ මෙන්ම වැඩි වශයෙන් ඉන්දියාවේ සිදුවන දේව ඇදහිල්ල මෙන්ම බෝධිසත්වයින් වන්දනා කරමින් තමන්ගේ ලෞකික ජීවිතේ කරුණු කාරණා ඉටුකර ගැනීමට පිහිට පැතීම මහායානිකයන් සිදු කරනවා. මේ බෝධිසත්ව වන්දනාව ලංකාවට පැමිණි මුල් කාලීනව ඒ ඒ ස්වරූපවලින්ම බෝධිසත්ව වන්දනාව සිදු කෙරුණත් පසු කාලීනව මේ බෝසත්වරුන් ලක්දිවට ගැලපෙන පරිදි දේශීය මුහුණුවරකට පෙරලුණු අතර අවලෝකිතේශ්වර බෝධිසත්වයින් උත්පලවර්ණ හා නාථ දෙවිවරු ලෙසද සමන්තභද්‍ර බෝසතුන් සුමන සමන් දෙවියන් ලෙසද වන්දනාවට පාත්‍ර වුණා.
ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන බොධිසත්ව පිළිම පිළිබදව අවධානය යොමු කර බැලීමේදී ලංකාවේ ස්ථාන කීපයකින්ම මෙම බොධිසත්ව ප්‍රතිමා හමුවන ආකාරය දැකිය හැකිය. ඒ අනුව,
·        දඹේගොඩ බෝධිසත්ව ප්‍රතිමාව :-  දැනට ලෝකයේ සොයාගෙන ඇති විශාලතම බෝධි සත්ව පිළිමය මෙයයි. මෙම බෝධිසත්ව ප්‍රතිමාවෙන් අවලෝකිතේෂ්වර බෝධිසත්වයන් නිරුපනය කරයි. මෙය ගිළනුන් හට වන්දනා මාන කිරීම සදහා ඉදි කරන ලද්දකි.
·        බුදුරුවගල බෝධිසත්ව ප්‍රතිමාව :- ලංකාවේ බෝධිසත්ව ප්‍රතිමාවන් අතරින් වැදගත් තැනක් හිමිවේ. මෙහි බෝධිසත්ව ප්‍රතිමා 6 ක් දක්නට ලැබේ.
·        කුෂ්ටරජගල බෝධිසත්ව ප්‍රතිමාව  :- ගාල්ල මාතර අතර පිහිටි වැලිගම පර්වතයක පිහිට ඇත. මෙම බෝධිසත්ව ප්‍රතිමාවෙන් අවලෝකිතේෂ්වර බෝධිසත්වයන් නිරුපනය කරයි. කුෂ්ටයක් සැදුනු රජකෙනෙක් වනගතව සුව වී ඊට කළගුණ දැක්වීමක් ලෙසට මේ ප්‍රතිමාව කරවන්නට ඇතැයි විශ්වාසයක් පවතී.
·        සිතුල් පවුවෙන් ලැබුන බෝධිසත්ව පිළිමය  :- ක්‍රිස්තු වර්ෂ තුන්වෙනි සියවසට අයත් අමරාවතී සම්ප්‍රදාය අනුව ඉදිකර ඇත.
·        මැදිරිගිරියෙන් ලැබුණු බෝධිසත්ව පිළිමය:- ක්‍රිස්තු වර්ෂ නමවන සියවසට අයත් සෙල්මුවා බෝධිසත්ව ප්‍රතිමාවකි.
·        අනුරාධපුර ථුපාරමයේ බෝධිසත්ව පිළිමය :-
·        පොළොන්නරුවෙන් හමුවූ බෝධිසත්ව පිළිමය  :-
·        කුරුණෑගල වෙහෙරගල බෝධිසත්ව පිළිමය :-
·        අම්බලන්තොටින් ලැබුණ බෝධි සත්ව හිස :-
          යනාදී තැන් වලින් බෝධිසත්ව ප්‍රතිමා හමුවේ. මෙලෙස හමුවන බෝධිසත්ව ප්‍රතිමාවන් අධ්‍යයනය කර බැලීමේ දී ඒවායෙන් බොහෝමයක දක්නට ලැබෙන විශේෂිත වූ ලක්ෂණයන් කීපයක් හදුනාගත හැකි ය, ඒ
·        හිස් වැස්ම තුල එනම් ජටා මකුටයේ ස්ථුපය සංකේතයක් දක්නට ලැබේ.
·        සර්වාභරණ වලින් සැරසි සිටීම.
·        දෙයත් වලින් මුද්‍රා එකක් හෝ දෙකක් නිරුපනය කිරීම.
          යනාදී ලෙස හදුනාගත හැකි ලක්ෂණයන්ය. මේ ආකාරයට බෝධිසත්ව ප්‍රතිමාවන් නිර්මාණයේ දී අපට ලංකාවෙන් හමු වන බෝධිසත්ව ප්‍රතිමාවන් වල ඉහත දැක්වූ විශේෂිත ලක්ෂණයන් අන්තරගතව ඇති ආකාරය හදුනාගත හැකි ය. ඒ අනුව ලංකාවෙන් හමුවන බෝධිසත්ව ප්‍රතිමාවන් ගැන අධ්‍යයනයට ලක්කර බැලීමේ දී,
අවලෝකිතේශ්වර බෝසතුන් ගැන විශේෂයෙන් කතා කලොත් සියලුම ලෝ සතුන්ගේ ආරක්ෂකයා ලෙස එතුමා කටයුතු කරන අතරම සියලු සත්වයින් සංසාරයෙන් එතෙර වනතාක් එතුමා බුද්ධත්වයට පත් නොවන බවයි කියවේ. ඒ වගේම ලෙඩ රෝගවලට පිහිටවීම ආදී කරුණු නිසා "භේසජ්ජ ගුරු" වශයෙනුත් එතුමාව පිළිගීමට ලක්ව ඇත. කුඩා බිමක තිබෙන ගල් කුළක ඇතුළට හෑරීම මඟින් මෙම අවලෝකිතේශ්වර බෝසත් ප්‍රතිමාව නිර්මාණය කර තිබෙනු දක්නට ලැබේ. ප්‍රතිමාවේ උස අඩි 8 ක් පමන වේ. දෝතියක් වැනි වස්ත්‍රයක් හැඳ ආභරණ හා ඔටුන්නක් පැළැඳ ගෙන රාජ ලීලාවෙන් සිටින අවලෝකිතේශ්වර බෝසතුන් මෙහිදී දැකගත හැකියි. මේ ආභරණ පලඳා ඇති ආකාරය මෙන්ම දෝතිය හැඳ සිටින ආකාරය රාජ ප්‍රතිමාවලට සමාන වීම නිසා මෙය රාජ ලීලාව ලෙස හඳුනාගත හැකි ය.
හිසේ තිබෙන ඔටුන්න තුළ හෙවත් ජටා මකුටයේ ධ්‍යාන ඉරියව්වෙන් වැඩ සිටින බුදු රූ 4 ක් දැකගත් හැකි අතර ඉන් දෙකක් ඔටුන්නේ ඉදිරි පස එකක් මත එකක් සිටින සේත් අනිත් දෙක වම් කන හා දකුණු කනට ඉහළින් ඔටුන්නේ දක්වා තිබේ. නමුත් ජටා මකුටය තුළ තවත් බුදුරුවක් ඇති බවත් එමඟින් මහායාන බුදු සමයේ දැක්වෙන අමිතාභ, වෛරෝචන, අක්ෂෝභ්‍ය රත්නසම්භව, අමෝඝසිද්ධි යන ධ්‍යානි බුදුවරුන් පස් දෙනා නිරූපිත වන බවට මතයක් තිබේ.
ප්‍රතිමාවේ කන් ලම්භකර්ණව ලෙස දක්වා ඇති අතර කන්වලත් කුණ්ඩලාභරණ ආදිය පැලැඳි බවක් දැකිය හැකිය. ගෙලට මාල කීපයක් දමා ඇති අතර අත්වලට වළලු ආකාරයේ පළඳනා දමා ඇති. දකුණු අතේ මාපට ඇඟිල්ල සහ දබර ඇඟිල්ල එක් කර විතර්ක මුද්‍රාව දක්වන අතර වම් අතේ මහපට ඇඟිල්ල නොනමා දබර ඇඟිල්ල සහ සුළැඟිල්ල අර්ධයක් නමා ඇති අතර මැදැඟිල්ල හා වෙදැඟිල්ල සම්පූර්ණයෙන්ම නමා තිබේ. ඒ මුද්‍රාව කටක මුද්‍රාව නම් වේ.
මේ ප්‍රතිමාව අවලෝකිතේශ්වර බෝසතුන් නොව වජ්‍රසත්ව බෝසතුන් බවත්, මේ සමන්තභද්‍ර බෝසතුන් බවටත් මත ඉදිරිපත් වී ඇති අතරම තවත් මතයක් වන්නේ මේ ප්‍රතිමාව අවලෝකිතේශ්වර හා සමන්තභද්‍ර යන බෝසතුන් දෙදෙනාගේම සම්මිශ්‍රණයක් ලෙස නිමවා ඇති බවයි.
මේ ප්‍රතිමාවේ ආකාරයෙන්ම රාජ ලීලාවෙන් නිර්මාණය කෙරුණු අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්‍රතිමා විදිහට දඹේගොඩ අවලෝකිතේශ්වර ප්‍රතිමාව, දඹුලු විහාර අවලෝකිතේශ්වර ප්‍රතිමාව දැක්විය හැකි ය. මේ ප්‍රතිමාවල තිබෙන ලක්ෂණ පල්ලව සම්ප්‍රදායට  නැඹුරුවක් පෙන්වන නිසා කුෂ්ඨරාජගල සහ දඹේගොඩ ප්‍රතිමා නිර්මාණය කළ කාලය ලෙස නිගමනය කරන්නේ ක්‍රි.ව 7 හෝ 8 සියවස්ය.
මේ ආකාරයෙන් බෝධිසත්ව පිළිමයක් කුෂ්ඨරාජගල නිර්මාණයට වීමට හේතු සාධක පිරික්සීමේදී පිහිටි ස්ථානයේ නමේ අර්ථයෙන්ම ගතහොත් කුෂ්ඨ රෝගයක් වැළඳුණු රජතුමෙක් තම කුෂ්ඨ රෝගය සුවවීමෙන් තමන් වූ භාරයක් ඉටු කරමින් මේ ස්ථානයේ අවලෝකිතේශ්වර ප්‍රතිමාව නිර්මාණය කරවූ බව කියවෙනවා.
දඹේගොඩ අවලෝකිතේශ්වර ප්‍රතිමාව දෙස බැලීමේදී ස්ඵටික පාෂාණයට අයත් තනි ග‍‍ලෙන් නිමවා ඇති ‍මෙම පිළිමය උස මීටර් 10 කි.  මුලු බර ‍ටොන් 40 ක් පමණ ය. මෙම පිළිමය ශක්තිමත් බව, ‍‍‍‍‍‍‍‍‍‍‍ප්‍රෞඩත්වය, රාජකීයත්වය ඉස්මතු ‍‍කෙ‍‍රෙන සමභංග ඉරියව්‍‍‍‍‍‍වෙන් ‍‍‍‍නෙළන ලද ‍බෝධිසත්ව පිළිමයක් ‍‍‍ලෙස හඳුන්වා දිය හැකි ය. කටක හස්ත මුද්‍රාව සහිත ‍මෙම පිළිම‍‍‍යෙහි ජටාවෙහි කූඩා සමාධි බුදු පිළිමයකි. ‍‍‍තේජාන්විත බවත් පළ කරන ‍‍මෙම ප්‍රතිමාව රාජාභරණවලින් විභූෂිතය. කඳුගැටය මත එකිනෙකට කුඩා වන මාලක කීපයක් මුදුනේ පිහිටු‍‍වා ඇති ප්‍රතිමාව වටා ප්‍රතිමා ගෘහයක් ති‍බෙන්නට ඇතැයි සාධකවලින් අනාවරණය ‍වේ.
මේ හැරෙන්නට ලංකාවේ ඇති පිහිටි ගලක නෙළන ලද උසම ප්‍රතිමාව ලෙස සැලකෙන බුදුරුවගල ශෛලමය බුද්ධ ප්‍රතිමාවද ඒ සමග නෙලා ඇති අනෙක් බෝධිසත්ව ප්‍රතිමාවන්ද ලංකාවේ බෝධිසත්ව ප්‍රතිමා අධ්‍යයනයේදී වැදගත් වේ. හිටි ඉරියව්වෙන් නිරූපිත බුද්ධ ප්‍රතිමාව උස මීටර 13 ක් පමණ වෙයි. ප්‍රතිමාව සමඟ දෙපස තවත් ප්‍රතිමා හයක් මෙම ගල් බිත්තියේ පෙළට නෙළා තිබෙයි. ගල් බිත්තිය අඩි 70 ක් පමණ දිගය. ගල් තලාවක් මත නෙළා ඇති දැවන්ත බුදුරුව නිසා බුදුරුවගල වශයෙන් ප්‍රසිද්ධියට පත්වන්නට ඇත.
කවුරුන් විසින් කවර දා කරන ලද්දැක්දැයි නිශ්චිතව තහවුරු කර ගෙන නොමැති මෙම කලා නිර්මාණයන්ගේ ස්වභාවය අනුව මෙය ක්‍රි.ව. 8 - 9 සියවස් වලට අයත් මහායානිකයන් විසින් කළ නිමැවුමක් බව පුරාවිද්‍යාඥයන්ගේ අදහසයි. ගල් පව්වේ බිත්තිය මධ්‍යයේ දැවැන්ත ප්‍රතිමා නෙලා ඇත්තේ අර්ධ උන්නතව ය. බුදුරුව දෙපස පරිවාර ප්‍රතිමා තුන බැගින් දර්ශනය වෙයි. බුද්ධ ප්‍රතිමාවේ විශාලත්වය සහ දෙපස සෙසු ප්‍රතිමාවන්ගේ ස්වරූපය නිසා මෙය දීපංකර බුදුරදුන්ගේ පිළිබිඹුවක් බව අනුමාන කෙරේ.
ප්‍රධාන බුද්ධ ප්‍රතිමාවේ දකුණු පස ඇති ප්‍රතිමා ත්‍රිත්වයේ මැද නෙළා ඇත්තේ අවලෝකීතේශ්වර බෝධි සත්ව ප්‍රතිමාවකි. එහි උස මීටර් 7.16 කි.  එම ප්‍රතිමාවේ වම් පසින් නෙළා ඇති ත්‍රිභංග ඉරියව්ව පිළිබිඹු කරන තාරා දේවී ප්‍රතිමාවේ උස මීටර් 5.98 ක් පමණ වෙයි.  මහායානිකයන්ට අනුව තාරාදේවිය අවලෝකීතේශ්වර බෝධිසත්වයන්ගේ භාර්යාවය. අවලෝකිතේශ්වර බෝධි සත්ව රූපයයේ දකුණු අත පැත්තේ දකින්නට ලැබෙන ප්‍රතිමාව සුධන කුමාර ප්‍රතිමාවයි. මහායාන සම්ප්‍රදායට අනුව සුධන කුමාරා ද බෝධිසත්වවරයෙකි. එහි උස මීටර් 6.53 ක් පමණ වෙයි.
ප්‍රධාන බුද්ධ ප්‍රතිමාවේ වම් පසින් දිස්වෙන රූප ත්‍රිත්වයේ මැද නෙලා ඇති ප්‍රතිමාව මතු බුදු බව ලබන මෛත්‍රී බෝධිසත්ව ප්‍රතිමාවය. මෙහි උස මීටර් 7.3 කි. එම බෝධිසත්ව රූපයේ වම් අත පැත්තේ නෙලා ඇති ප්‍රතිමාව වජ්‍රපානී බෝසත් ප්‍රතිමාවය. මෙහි උස මීටර් 6.4 කි. මෛත්‍රී බෝසත් රුවෙහි දකුණු අත පැත්තේ නෙලා ඇති රුව මංජු ශ්‍රී බෝධිසත්ව ප්‍රතිමාවයි.
මේ අනුව බුදුරුවගල ඇති ප්‍රතිමා හත වම් අත සිට දකුණට පිළිවෙලින් නම් කළහොත් මෙසේ හඳුනාගත හැකිය. සුධනකුමාර, යෝගී අවලෝකීතේශ්වර, තාරා, දීපංකර බුද්ධ, මංජු ශශ්‍රී, මෛත්‍රී හා වජ්‍රපානී වශයෙනි.
මේ ආකාරයට මහායානිකයෝ කි‍්‍ර.ව. 3 වන සියවස පමණ දී ශී‍්‍ර ලංකාවට ඔවුන්ගේ බෝධිසත්වයන් හඳුන්වා දුන්හ. අවලෝකිතේශ්වර හෙවත් නාථ ඔවුන් අතර මුල් තැන ගනී. ඒ නිසාම බෝධිසත්ව ප්‍රතිමා අතර අවලෝකිතේශ්වර ප්‍රතිමාවට විශේෂ තැනක් හිමි වී ඇත. ඒ බෝධිසත්වයෝ මහාකරුණාව නියෝජනය කරමින් අතට පත් නිවන් සුව හැරපියා දුකට පත් සත්වයින් බුද්ධත්වය කරා යොමු කිරීම හා ඔවුන් ආරක්ෂා කිරීම තම වගකීම ලෙස සලකා කි‍්‍රයා කරන්නෙකු ලෙස මහායානය තුළ පිළිගැනේ. රෝග සුව කිරීමට එතුමා හට ඇති අති මානුෂීය බලය අනභිභවනීය බෝධිසත්වයකු වශයෙන් මතුවීමට හේතුවක් විය. දඹුල්ලේ රජ මහා විහාරයේ බුද්ධ අවලෝකිතේශ්වර හා මෙති‍්‍රය ති‍්‍ර මූර්තියේ මෙති‍්‍රය අවලෝකිතේශ්වර මෙන් ධ්‍යානී බුදුරුව හිසේ පැලැඳ සිටියි. මහනුවර දළදා මාළිගාව හා සම්බන්ධ සතර දේවාලවලින් එකක් නාථ හෙවත් අවලෝකිතේශ්වරට වෙන් වී තිබේ. මෛති‍්‍රයට එහි තැනක් දී නැත. එහෙත් මෛති‍්‍රය සමාජයෙන් ගිලිහී යාමක් එයින් අදහස් නොවෙයි. මහනුවර යුගයෙහි බොහෝ විහාරවල මෙති‍්‍රයට ද තැනක් දී තිබේ.
ඒ අනුව ක්‍රි.ව. 3 වන සියවසෙන් ඇරඹි බෝධිසත්ව ප්‍රතිමා නිර්මාණය මහනුවර යුගය වන විට සමාජය තුළ වෙනමම වැදගත් අංශයක් ලෙස ඉදිරියට වර්ධනය වෙමින් පැවත විත් ඇති ආකාරයත් අපට හදුනාගත හැකි ය. එම ප්‍රතිමාවන් මගින් ලංකා සමාජයේ ඒ වන විට මහායානය ලබා තිබූ ජයග්‍රහනයත්, මහායානික කලා කරුවාගේ නිර්මාණ හැකියාවත් බෝධිසත්වයන්ගේ බල මහිමයත් නිරුපනයට හැකියාව ලබා ඇත.

9 comments:

  1. ගොඩාක් ලස්සන හරිම වටිනා ලිපි පෙලක්. මේ විෂය සම්බන්ධව ශාස්ත්‍රීය කරුණු රැසක් මෙම ලිපිය නිසා මට දැන ගැනීමට ලැබුනා. අපට ලොකු අත්දැකිමක් ලැබුනා. තව තවත් මෙවැනි ලිපි ලිවීමට ශක්තිය ධෛර්යය ලැබේවා යැයි පතමි

    ReplyDelete
  2. ලස්සන ලිපියක්

    ReplyDelete
  3. ලස්සන ලිපියක්

    ReplyDelete
  4. ලස්සන ලිපියක්

    ReplyDelete
  5. ඉතාම වටිනා ලිපියක්..මේ පිළිබඳව මා අධ්‍යනය නියැලෙන නිසාවෙන් මේ ලිපිය ඉතාම වැදගත් විණි.

    ReplyDelete
  6. බොහෝ කරුණු දත හැකි උනා ගොඩක් පිං.

    ReplyDelete
  7. වැදගත් ලිපියක්

    ReplyDelete
  8. වැදගත් ලිපියක්

    ReplyDelete