Saturday, January 17, 2015

මුඩුක්කුවක දිවි ගෙවන රාජ කුමරිය සුල්තානා බෙගම්



සුල්තානා බෙගම් පැල්පත්වාසී ජීවිතයක් ගත කරන රජ කුමාරියකි. ඇගේ මුතුන් මිත්තන් සුවිශාල හා ධනවත් අධිරාජ්‍යයක  හිමිකරුවන්ය. එහෙත් මේවන විට 60 හැවිරිදි සුල්තානා ඉන්දියාවේ කල්කටාවට නුදුරු පැල්පත්වාසී ප්‍රදේශයක ජීවිතය ගතකරමින් සිටියි. ඉන්දියාවේ අවසන් අධිරාජ්‍යය වූ මෝගල් අධිරාජයා වන බහදූර් සාහ් සෆාර් ගේ පුත් කුමරුගේ බිරිඳ වූ ඇය මේ දිනවල අරගල කරමින් සිටින්නේ පාලකයින් විසින් ඇයගේ රාජකීය උරුමය ඉවත දමා අවම විශ්‍රාම වැටුප පමණක් හිමිකරදීමට එරෙහිවය. ස්වකීය සැමියා වූ මිර්ෂ බෙදාර් බුක්ට් 1980 වසරේදී අභාවප්‍රාප්තවීමෙන් පසු ඇය දිළිදු බවේ අඩියටම වැටුණාය.
මෝගල් අධිරාජ්‍යයේ උරුමකාරිය අද දවසේ ජීවත් වන්නේ කල්කටාවේ පැල්පත්වාසී ප්‍රදේශයක් වන හොව්රාහ් හි කුඩා කාමර දෙකක් සහිත පැල්පතකය. අසල්වැසියන්ගේ කුස්සි කාමර බෙදාහදා ගනිමින් ආහාර සකස් කර ගන්නා ඇය වීදියේ පොදු වතුර කරාමවලින්
ස්නානය කරයි. ඇඳුම් පැළඳුම් සෝදා ගනියි. 19 වන සියවසේ රාජකීය පරපුරකට උරුමකම් කීවද ඇය දෛනික ජීවිතය ගත කරනුයේ මසකට ලැබෙන ඩොලර් 60 ක විශ්‍රාම වැටුපෙනි. ඇගේ අවිවාහක දියණිය වන මධූ බෙගම් පවසන්නේ "අපි ජීවත්වන හැටි දෙවියො දනී"කියලයි.
සුල්තානාට දරු මුණුබුරුන්ද බොහෝය.
" මගේ අනෙක් දුවලා සහ ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් පවා දුප්පත්. ඒ අය එදාවේල හොයා ගන්නෙත් බොහොම අමාරුවෙන්. ඉතිං අපිට කොහොම සලකන්නද?"සුල්තානා පවසයි.
දියණියන් පස් දෙනකුගෙන් හා එක් පුතෙකු වන හය දරු මවක වන ඇය ආයාසයෙන් ජීවිතය ගැට ගසාගනු ලැබුනේ විශ්‍රාම වැටුප් ලෙස ලැබෙන ඩොලර් හැටක් හෙවත් ඉන්දියානු රුපියල් 6000 ක පමණ අවම මුදලකිනි. මෑත කාලයේ ඇය හා ඇගේ මෝගල් රාජවංශය පිළිබඳ ඉන්දීය මාධ්‍යය තුළ යම් කතා බහක් ඇති විය. ඊට හේතුවූයේ බ්‍රිතාන්‍යය අධිරාජ්‍යවාදීන් විසින් පළවා හරිනු ලැබූ මෝගල් රාජවංශයේ මුණුබුරු පරම්පරාව ආරක්ෂා කළ යුතු බවට විවිධ සංවිධාන විසින් කරගෙන යනු ලැබූ උද්ඝෝෂණ ව්යාපපාර නිසාය.
16,17 සහ 18 වන සියවස් දක්වා පවා දිවයන ඉන්දීය උප මහද්වීපයේ ලියැවුණු මෝගල් රාජ වංශය පිළිබඳ ඉතිහාසයට ඇයද ඇතුළත්ය. ලොව පුදුමයක් සේ සැලකෙන ඓතිහාසික ස්මාරකයක් වන ටජ්මහල් මුස්ලිම් අධිරාජ්‍යය  වංශයෙන් ලෝකයට දායාද කළ නොමැකෙන සිහිවටනයකි. එසේම මෝගල් අධිරාජ්‍යය සමයේ ඉදිකරන ලද රතු කොටුව, අග්‍රා කොටුව මෙන්ම ලාහෝර් ශර්ලිමා උද්‍යානය ද යුනෙස්කෝ ආයතනය විසින් ලෝක උරුමයන් ලෙස සලකනු ලබයි. එවන් ගෞරවනීය දායාදයන් ස්ථාපිත කළ රාජවංශයේ සුල්තානා වසර ගණනාවක් තිස්සේ විශ්‍රාම වැටුපට අමතරව තමාට ජීවත්වීම සඳහා යම් සුදුසු වාතාවරණයක් සකස්කර දෙන ලෙස ඉල්ලමින් ප්‍රාන්ත රජයට මෙන්ම මධ්‍යම රජයට පෙත්සම් යොමුකරමින් සිටියි. එහෙත් ඇයගේ දුක්ගැනවිල්ලට
මෙන්ම අයිතියට ඇහුන්කන්දීමට ඉන්දීය පාලනාධිකාරිය මෙතෙක් ක්‍රියාමාර්ගයක් ගෙන
නොතිබීම බොහෝ දෙනාගේ කනගාටුවට හේතුවී තිබේ.
ඇයගේ මිණිබිරියක වන රොෂාන් අරාට මාසිකව ඩොලර් 150 ක් ලැබෙන රැකියාවක් රජයෙන් ලැබී තිබේ. ඒ ඇයගේ පවුලේ සැලකිය යුතු වැටුපක් ලබන එකම රැකියාලාභියාය. පවුලේ සෙසු සාමාජිකයින් සාක්ෂරතාවයෙන් ඉතා අඩු බවත්, රැකියා ලබාදීම සඳහා රජයේ තරඟ විභාගවලින් ඔවුන් නිරන්තරයෙන්ම අසමත්වී ඇති බවත්
කියැවෙයි. ඒ නිසාම පෙර රාජවංශයේ වත්මන් ජීවිතය ඉතා අවාසනාවන්ත තත්ත්වයකට ඇදවැටී තිබේ.
සුල්තානා කලෙක කාන්තා ඇඳුම් මැසීමෙන් යම් මුදලක් උපයාගෙන ඇති අතර පසුව තේ හට් එකක් පවත්වාගෙන යාමෙන් සුළු මුදලක් වාර්ෂිකව උපයාගැනීමට සමත් වී ඇත. එහෙත් ජීවන වියදම් කෙරෙහි සැලකිල්ල යොමුකිරීමේදී එය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව අමුතුවෙන් කිවයුතු නොවේ. සුල්තානා ඒ පිළිබඳ කතා කරනුයේ වේදනාවෙනි.
"මට උදව් කිරීමට පෙරට එන සියලුම දෙනාම මං ගරුකරනවා. මගේ සැමියා  මට කියලා තියෙනවා අපි ජීවත් වීම උදෙසා හිඟාකෑවේ නැති කීර්තිමක් රජ පවුලකින් පැවත එන්නන් කියල. ඒත් මම හැමවෙලේම ආණ්ඩුවෙන් අහන්නේ මගේ පවුල සුදුසු මොනවටද කියලයි?"
සුල්තානාගේ සැමියාගේ පියා වුණු කීර්තිමත් බහදූර් සාහ් සෆාර් අධිරාජයා 1837 දී සිංහාසනාරූඪ විය. සියවස් 3ක් පමණ ඉන්දියාව පාලනය කළ මෝගල් අධිරාජ්‍යයේ  අවසාන පාලකයා වූයේ ඔහුය. 1857 දී ඉන්දියානු සොල්දාදුවන් එක්සත් කරමින් සුදු අධිරාජ්‍යවාදීන්ට එරෙහිව පැන නැඟුනු කැරලිවලට අණ දුන්නේ ඔහුය. 1858 වන විට සුදු අධිරාජ්‍යවාදීන් විසින් මෙම ස්වදේශික අරගලය කුඩුපට්ටම් කරයි. ඉන්පසු සුදු අධිරාජ්‍යවාදීන් විසින් ඔහු අල්ලා රැන්ගූන් වලට පිටුවහල් කරන අතර වයස අවුරුදු 87 ක්වී ඔහු ජීවිතක්ෂයට පත්වන තුරු රැන්ගූන් වල රඳවා තබා තිබිණි
සාමාජිකයින් බොහොමයක්ද රැන්ගූන්වලට පිටමංකර යැවීමට ඉංග්‍රීසි අධිරාජ්‍යවාදී පාලනය විසින් පියවර ගෙන තිබුණි. වත්මන්හි යැන්ගොන් නමින් හඳුන්වන බුරුමයේ අගනගරය වන පුරාණ රැන්ගුන් වලදී අධිරාජයා ජීවිතක්ෂයට පත්වූයේ 1862 නොවැම්බර් මස 07 දාය. 1886 දී ශීනාත් මහල්ද මිය ගියාය. ඔවුන්ගේ දරු මුණුබුරන් බොහෝ දෙනෙක් 1857 දී ඇවිළී ගිය ඉන්දීය ස්වදේශික කැරැල්ලේදී ජීවිතක්ෂයට පත්වූ
අතර ඉතිරිවුණු කිහිපදෙනා අමෙරිකා එක්සත් ජනපදයටත්, ඉන්දියාවේ හා පකිස්ථානයේ දුරබැහැර ප්‍රදේශවලටත් පළා ගොස් අප්‍රකටව ජීවත්වන බව සඳහන්ය. සුල්තානා බෙගම්ද එසේ පලාගොස් මේවන විට තරමක් ප්‍රකටව වුවත් ආයාසයෙන් ජීවත්වන අයෙකු බව පැහැදිලිය.
-Mail Online ඇසුරිණි.

No comments:

Post a Comment